බංග්ලාදේශ අගමැතිනිය ඉන්දියාවේ

සිවු දින නිල සංචාරයක් අරඹමින් ඉන්දියාවට පැමිණි බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනාට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
ආරක්ෂක, වෙළෙඳ සහ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් අගමැති හසීනා සහ මෝදි අතරේ ගිවිසුම් හතකට අත්සන් තැබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාව සහ බංග්ලාදේශය අසල්වැසි රටවල්ය. දෙරට අතරේ බැඳීම සංස්කෘතිකමය වශයෙන් පවතින බැඳීම වැඩිකර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.
මේ වනවිට ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය මුල්කොට ගනිමින් අර්බුදයක් පවතී. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පමණක් නොව, ඇසෑමය මුල්කොට ගනිමින් නිර්මාණය වූ නව අර්බුදය කෙරෙහි ද අගමැතිනී හසීනා සහ ඉන්දිය අගමැති මෝදි අතරේ සාකච්ඡාවට බඳුන් විය.
ඇසෑමය පිහිටා ඇත්තේ බංග්ලාදේශයට මායිම්වය. පසුගිය දා ඉන්දීය මධ්‍යම රජය ඇසෑමයේ ජන සංගනනයක් කරමින්, ජාතික පුරවැසි ලැයිස්තුව යවත්කාලීන කළේය. එසේ වූයේ ඉන්දීය අගමැති මෝදිගේ ඡන්ද පොරොන්දුවකට අනුවය. එම ජාතික පුරවැසි ලැයිස්තුව ප්‍රකාශ වීමෙන් පසු ඇසෑමයේ පදිංචි වී සිටින ඉන්දීය පුරවැසිභාවය ලබා නොගත් වැසියන් මිලියන 1.9 ක පිරිසක් සිටින බව අනාවරණය විය. මොහුන්ගෙක් බහුතරය බංග්ලාදේශයෙන් පැමිණි පිරිස්ය. ඉන්දීය රජය මෙම පිරිස් ‘විදේශිකයන්’ ලෙස සලකන අතර, ඔවුන්ට රටක් අහිමිවීමේ අවදානමක් නිර්මාණය වී ඇත. මෙම අර්බුදය සම්බන්ධයෙන් අගමැති හසීනා සහ මෝදි අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.
පසුගිය සැප්තැම්බරයේ බංග්ලාදේශ අගමැතිනියත්, ඉන්දීය අගමැතිවරයාත් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේ පැවැති එක්සත් ජාතීන්ගේ 74 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වූහ.
සැසියට සමගාමීව අගමැතිනී හසීනා සහ අගමැති මෝදි අතරේ හමුවක් පැවැත්විණි. එය කෙටි හමුවක් වූ අතර ඉන්දියාවට පැමිණ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගන්නැයි අගමැති මෝදි බංග්ලාදේශ අගමැතිනියට ඇරැයුම් කළේය. අගමැතිනිය ඉන්දියාවේ නවදිල්ලි අගනුවර බලා පැමිණියේ ඒ අනුවය.
ආරක්ෂක සහ වෙළෙඳ ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් අනතුරුව ඉන්දියාවත් බංග්ලාදේශයත් එක් වී, නව ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම කෙරෙහි ද සාකච්ඡා පැවැත්විණි. එයින් එක් ව්‍යාපෘතියක් නම් බංග්ලාදේශයෙන් එල්.පී. ගෑස් මිලදී ගැනීමකි. බංග්ලාදේශ අගමැතිනිය සහ ඉන්දීය විදේශ ඇමැති ජයිශංකර් මෙනන් අතරේ ද හමුවක් පැවැත්විණි.
‘ඉන්දියාවත් බංග්ලාදේශයත් අතර පවතින සබඳතා අන් කවරදාටත් වඩා අද ශක්තිමත් වී තිබෙනවා. දෙරට අතර පවතින මිත්‍රත්වය සහ බැඳීම නව මානයකට යොමු කරන්නඅපට ඉදිරියේදී හැකිවේවි’ යැයි ඉන්දීය විදේශ ඇමැතිවරයා බංග්ලාදේශ අගමැතිනිය හමුවීමෙන් පසු මාධ්‍ය හමුවේ පැවැසීය.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)

