පුටින්ට කේන්ති ගිහිල්ලා

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවකු ලෙස හඳුන්වාදීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පියවර ගැනීමත් සමඟ රුසියාවත් ඇමෙරිකාවත් අතර පැවැති සියලු සබඳතා මේ වනවිට බිඳ වැටී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකන් ජනාපධිති බයිඩන්, පුටින් යුද අපරාධකාරයකු යැයි පැවැසූ පළමු අවස්ථාව මෙයයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගේ මෙම ප්‍රකාශය රුසියානු ජනාධිපති පුටින්ගේ හේතුවක් වී ඇති බව ද බටහිර මාධ්‍ය පෙන්වා දෙයි. රුසියානු ජනාධිපති පුටින් ‘යුද අපරාධකාරයකු’ යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පවසා ඇත්තේ, යුක්රේනයට කිසිදු සම්බන්ධයක් නැති උත්සවයකට සහභාගී වී සිටිද්දී, මාධ්‍යවේදීන් පිරිසක් ඔහු වට කරගත් අවස්ථාවේදීය.
බයිඩන් එසේ පවසා ඇත්තේ එම අවස්ථාවේදී ඔහුගේ සිතට නැගුනු සිතුවිල්ලක් අනුව යැයි ධවල මන්දිරය පසුව පැහැදිලි කළේය. කෙසේ නමුත්, බයිඩන්ගේ එම ප්‍රකාශ හේතුවෙන්, රුසියාවත් ඇමෙරිකාවත් අතර පවතින අර්බුදය තව තවත් උත්සන්න වී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කළේය.
‘තමන් යුද අපරාධකරුවකු ලෙස හැඳින්වීමට බයිඩන් පියවර ගැනීම සමාව දිය නොහැකි වරදක් යැයි රුසියන් ජනාධිපති පුටින් පවසා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.
කෙසේ නමුත් ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) ද මේ වනවිට පුටින් යුද අපරාධකනරනවා යැයි චෝදනා නගා තිබේ. එම චෝදනා මුල්කොට ගනිමින්, ඇමෙරිකන් කොංග්‍රසය පුටින්ට එරෙහිව නව යෝජනාවලියක් ද සම්මත කරගෙන ඇත. මේ අතර, ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලය ඇමැතීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට අවස්ථාව උදා විය. සෙලෙන්ස්කී ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලය ඇමැතුවේ කැනඩා පාර්ලිමේන්තුව ඇමැතීමෙන් අනතුරුවය.
යුක්රේන ජනාපධිති සෙලෙස්කීට ඇමෙරිකන් කොංග්‍රමස් මණ්ඩලය මෙන්ම කැනඩා පාර්ලිමේන්තුව ඇමැතීමට අවස්ථාව උදා වීම සුවිශේෂී සිදුවීමක් බව බටහිර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
රුසියන් හමුදා විසින් වට කරනු ලැබූ යුක්රේනයේ කීව් අගනුවර සිටින ජනාධිපති සෙලෙස්කී, කොංග්රස් මණ්ඩලය ඇමැතුවේ වීඩියෝ තාක්ෂණයෙනි. යුක්රේන වැසියන් දිනපතා 9/11 ප්‍රහාරයකට ලක් වෙනවා යැයි යුක්රේන ජනාධිපතිවරයා කොංග්රස් මණ්ඩලය හමුවේ පෙන්වා දුන්නේය.
රුසියන් ආක්‍රමණය හේතුවෙන් අසරණ වුණු යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 13.6 ක් ආධාර පැකේජයක් ලබා දීමට ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන් කටයුතු කළේ ඉන්පසුවය. මෙම ආධාර පැකේජය ලබා දීමට ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලයේ ද අනුමැතිය හිමිවී තිබේ. ලැබෙන මෙම ආධාර පැකේජය, ආරක්ෂාව සහ මානුෂීය ආධාර සම්බන්ධයෙන් දෙකට බෙදී යුක්රේන වැසියන්ට ලැබෙනු ඇති බව ද පැවැසෙයි. රුසියන් ආක්‍රමණයට මුහුණ දෙමින්, ආරක්ෂා වීමට යුක්රේන වැසියන්ට අවශ්‍ය අවි ආයුධ සහ සෙබළුන් මේ වනවිට යුක්රේනය සතුව ඇති බවත්, ඔවුන්ට පහසුවෙන් රුසියන් හමුදා පරාජය කිරීමට හැකිවනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.
මේ වනවිට රුසියන් ජනාධිපති පුටින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඇමෙරිකන් රජයේ ඉහළ නිලධාරීන්ටත්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඇතුළු කැනඩා රජයේ ඉහළ නිලධාරීන්ටත් සම්බාධක පැනැවීමට පියවර ගෙන ඇත. සම්බාධක පනවා ඇත්තේ ‘එකටඑක’ කිරීමක් ලෙසය. යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන්, ඊට විරෝධය පෙන්වමින්, ඇමෙරිකාව, කැනඩාව පමණක් නොව, බටහිර රටවල් සහ බටහිර නොවන රටවල් ද රුසියාවට එරෙහිව දැඩි සම්බාධක රැසක් පනවා තිබේ.
සම්බාධක අනුව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට හෝ සම්බාධක පැනැවූ සෙසු රුසියන් රජයේ නිලධාරීන්ට හෝ රුසියාවේ සිට වෙනත් විදේශයකට යෑමට නොහැකි වෙයි.
රුසියන් ජනාධිපති පුටින් සම්බාධක පැනැවූ පුද්ගලයන් අතර ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, සී.අයි.ඒ. ප්‍රධානී විලියම් බර්න්ස් සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන් ද සිටින බව පැවැසෙයි. රුසියාව පෙරළා පැනැවූ සම්බාධක අනුව, මොවුන් කිසිවකුට රුසියාවට පැමිණීමට නොහැකි වනු ඇත.
(රොයිටර්)

