පුටින්ගේ මාධ්‍ය ප්‍රකාශකට කොරෝනා



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්වෝ ට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

තමන්ට වයිරසය ආසාදනය වී ඇති බව දිමිත්‍රි පෙස්වෝ ‘ඉන්ටෆැක්ස්’ පුවත් සේවයට පැවැසුවේය. ‘ඔව්. මා අසනීප වුණා. දැන් මා රෝහල්ගත වෙනවා. අවශ්‍ය ප්‍රතිකාර මට ලැබේවි’ යැයි රෝගල්ගත වීමට පෙර දිමිත්‍රි පෙස්වෝ පැවැසුවේය.

52 හැවිරිදි පෙස්කෝව් රුසියන් ජනාධිපති පුටින්ගේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස කටයුතු කරන්නේ 2008 වසරේ සිටය. කෙසේ නමුත් පෙස්වෝ, පුටින් යටතේ රාජකාරි ආරම්භ කළේ 2000 වසරේ සිටය.

වයිරසය ආසාදනය වී රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන සහ අසාධ්‍ය තත්ත්වයෙන් පසු නොවන ආසාදිතයන්ට නිවෙස්වල රැඳී සිටින්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇති අතර, රෝහල්ගත කෙරෙන්නේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අය පමණක් බව පැවැසෙයි. ඒ අනුව, මාධ්‍ය ප්‍රකාශක පෙස්වෝ රෝහල්ගත කෙරුණේ ඔහුගේ රෝගී තත්ත්වය බරපතල නිසා යැයි සැකයක් පවතී.

ක්‍රෙම්ලීනයෙන් (රුසියන් පාර්ලිමේන්තුව) ලැබෙන තොරතුරු අනුව, දිමිත්‍රි පෙස්වෝ, රුසියන් ජනාධිපති පුටින් අවසන් වරට සමීපව හමුවී ඇත්තේ පසුගිය අප්‍රේල් 30 වැනිදාය. ඒ, ජනාධිපති පුටින් හදිසි හමුවක් පැවැත්වූ අවස්ථාවේදීය. හදිසි හමුව පැවැත්වූයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හමුවේ ලොක්ඩවුන් කළ රුසියාව යළි විවෘත කරන්නේ කෙසේදැයි තීරණය කිරීමටය.

‘කොවිඞ් 19’ වයිරසයෙන් දරුණු බලපෑම් එල්ල වී ඇති ලොව ප්‍රධාන රටක් වන්නේ රුසියාවය. වයිරසය හේතුවෙන් රුසියාවේ 2,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ආසාදිතයන් වාර්තා වන්නේ 2,32,000 ක් ලෙසය.
එවැනි තත්ත්වයක් පවතිද්දී පවා රුසියන් ජනාධිපති පුටින්, රුසියාවේ ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමටත්, අදියරෙන් අදියර රටේ දෛනික කටයුතු යළි ආරම්භ කිරීමටත් තීරණය කළේය.

මේ අතර රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිස්හුස්ටින් ද ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස අසාදිතයකු බව අප්‍රේල් 30 වැනිදා තහවුරු විය. ඔහු මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් වී සිටින බවත්, නිරන්තරයෙන් වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේ ජනාධිපති පුටින් සමඟ සාකච්ඡා පවත්වන බවත් වාර්තා වේ.

මොස්කව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS