පුටින් විදෙස් සංචාරයක් අරඹයි



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විදෙස් සංචාරයක් ආරම්භ කරමින් ටජිකිස්තානය සහ ටර්ක්මෙනිස්තානය බලා පිටත්ව ගියේය.

ටජිකිස්තානය සහ ටර්ක්මෙනිස්තානය යනු පැරැණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්, රුසියාවට හිතවත් මධ්‍යම ආසියානු රාජ්‍යයන් ය.  පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසු, රුසියන් ජනාධිපති පුටින් විදේශ සංචාරයක නියැළෙන පළමු අවස්ථාව මෙයයි.

ටජිකිස්තානයේ ඩුෂන්බේ නුවරදී, පුටින් ටජිකිස්තාන ජනාධිපති ඉමෝමායිල් රක්මොන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය. ඉමෝමායිල් රක්මොන්, පුටින් හිතවාදියෙකි.

ඉන්පසු රුසියන් ජනාධිපතිවරයා අෂ්ගාබාත් නුවරදී කැස්පියන් රටවල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙයි. ටර්ක්මෙනිස්තානය, කසක්ස්තානය, අසර්බයිජානය, ඉරානය යනු කැස්පියන් රටවල සමුළුවට සහභාගී වන සෙසු රටවල්ය.

රුසියන් ජනාධිපතිවරයා, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර, පසුගිය පෙබරවාරි මාසය ආරම්භයේ, චීනයට ගොස් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වීය. එහිදී තමන් යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම් බව පුටින්, චීන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේ යැයි ද පැවැසෙයි. රුසියන් යුක්රේන අර්බුදයේ දී චීනයේ සහාය රුසියාවට හිමිවෙයි. මේ වනවිට චීනයේ ප්‍රධානතම තෙල් සැපැයුම්කරු බවට පත් වී සිටින්නේ මැදපෙරදිග රටවල් නොව, රුසියාවය.

(රොයිටර්)

 


RECOMMEND POSTS