පුටින් බලයේ සිටිය යුතු නායකයෙක් නොවේ



ව්ලැදිමීර් පුටින් බලයේ සිටිය යුතු රාජ්‍ය නායකයකු නොවේ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් මේ වනවිට ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ කීවේ, පෝලන්තයට ගිය අවස්ථාවේදීය. නිදහස් ලෝකයේ සෑම රටක් ම යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විරෝධය පළ කළ යුතු බව ද ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පෝලන්තයේ වෝෂෝ නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවේය.

ජනාධිපති බයිඩන් පෝලන්තය බලා ගියේ යුරෝපා සංචාරයක් අරඹමින් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ගොස් 'නේටෝ' මහ සමුළුව ද ආමන්ත්‍රණය කිරීමෙන් පසුවය. පෝලන්තය යුක්රේනයේ අසල්වැසියාය.

ඇමෙරිකන් ජනාධිපතිවරයා පෝලන්තයට ගියේ යුක්රේනයට තමන්ගේ සහාය ලැබෙන බව පෙන්වා දෙමිනි.

රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙව් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සහ පෝලන්ත ජනාධිපති ඩුඩා අතරේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි. පෝලන්තය නේටෝ සාමාජික රාජ්‍යයකි.

ව්ලැදිමීර් පුටින් බලයේ සිටිය යුතු රාජ්‍ය නායකයකු නොවේ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයට රුසියාවෙන් දැඩි විරෝධයක් එල්ල විය.

ක්‍රෙම්ලීනය (රුසියන් පාර්ලිමේන්තුව) වෙනුවෙන් එහි ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව්, මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ රුසියාවේ ජනාධිපති කවුරුන්දැයි තෝරා ගන්නේ රුසියානුවන් බවත් පුටින් බලයේ සිටිය යුතු ද නැද්ද යන්න තීරණය කරන්නේ ඇමෙරිකන් ජනාධිපතිවරයා නොවන බවත්ය.

බයිඩන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අන්දෝලනයක් හටගනිද්දී, ධවල මන්දිරය එම ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද කළේය.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අදහස් කළේ රුසියාවේ බල පෙරැළියක් කිරීමට හෝ රුසියාවේ නායකත්වය වෙනස් කිරීමට හෝ නොවන බවත්, රුසියානු නායකත්වයේ හෝ රජයේ වෙනසක් කිරීමට ඇමෙරිකාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ධවල මන්දිරය පැහැදිලි කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS