පුටින් ඔන්ලයින් ක්‍රමයට ඡන්දය දමයි



රුසියනු පාර්ලිමේන්තු මැතිවරණය දින 3 ක් තිස්සේ පැවැත්වුණු අතර 'කොවිඩ් 19' ආසාදිතයකුගේ මුල් පෙළ ආශ්‍රිතයකු වූ බැවින්, ස්වයං නිරෝධායනයට යොමු වී සිටින රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, නිල නිවසේ සිට ඔන්ලයින් ක්‍රමයට සිය ඡන්දය ප්‍රකාශ කළේය.

රුසියානු පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ 'දූමා' මන්ත්‍රණ සභාව යනුවෙනි. මහජන නියෝජිතයන් 450 දෙනකු දූමා සභාවට තෝරා පත් කර ගැනීමට මැතිවරණය පැවැත්විණි. තෙදිනක් පුරා පැවැති මැතිවරණ කටයුතු අද (19) අවසන් විය. මැතිවරණය දින 3 ක් පැවැත් වූයේ 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් රුසියානුවන්ට තදබදයකින් තොරව ඡන්ද මධ්‍යස්ථාන වෙත යෑමට ඉඩ සලසමිනි.

දේශපාලන පක්ෂ 14 ක නියෝජිතයෝ මැතිවරණයට ඉදිරිපත් වී සිටිති. පුටින් විරෝධී විපක්ෂ දේශපාලන පක්ෂ සහ ඒවායේ නියෝජිතයන් බොහෝ දෙනකුට මැතිවරණයට ඉදිරිපත් වීම අධිකරණ නියෝග අනුව තහනම් කර ඇත.

රුසියන් මැතිවරණ කොමසාරිස් කාර්යාලය, මෙවර මොස්තව් ඇතුළු ප්‍රධාන නගර කීපයක ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කර තිබුණි. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක් භාවිතයට ගැනීම සිදුවූයේ 1993 වසරෙන් පසුව යැයි රුසියන් මාධ්‍ය වාර්තා කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS