පුටින් අමතන්න ට්‍රම්ප් සැරැසෙයි



රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් සිදුවන ලේ වැගිරීම් නැවැත්වීමේ අරමුණින් තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, ඔහුගේ ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් පළ කරමිණි.

රුසියන් ජනාධිපතිවරයා සමඟ, රුසියන් යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟත්, යුරෝපා රටවල් කීපයක රාජ්‍ය නායකයන් සමඟත් සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.

පසුගිය සිකුරාදා (16) දිනයේ, තුර්කියේ මැදිහත් වීමෙන් රුසියන් යුක්රේන සාම සමුළුවක් පැවැත්විණි. පුටින් සහ සෙලෙන්ස්කී ඊට සහභාගී වේවි යැයි බලාපොරොත්තුවක් පැවැති නමුත්, එසේ නොවිණි. සමුළුවට සහභාගී වූයේ දෙරටේ නියෝජිතයන් පමණි.

සාම සාකච්ඡා ඵලදායී නොවුණත්, දෙරට අතර යුද සිරකරුවන් හුවමාරු කර ගැනීමට රුසියාසනු සහ යුක්රේන නියෝජිතයන් අතරේ එකඟත්වයක් ඇතිවිය.

රුසියන් ජනාධිපති පුටින් තුර්කි සමුළුවට සහභාගී වන්නේ නම්, තමන් ද ඊට සහභාගී වන බව ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පවසා තිබුණි. සමුළුව පැවැත්වෙද්දී, ට්‍රම්ප් සිටියේ මැදපෙරදිග කලායේ නිල සංචාරයකට එක් වෙමිනි.

රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් නැවැත්වීමට තමන් මැදිහත් වන බව ට්‍රම්ප්ගේ ඡන්ද පොරොන්දුවකි.

තමන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා කෙසේ හෝ පුටින් සමඟ එකඟතාවක් ඇති කර ගනිමින් වසර තුනක් තිස්සේ ඔඩුදුවන රුසියන් යුක්රේන යුද්ධයට සාමකාමී විස‍ඳුමක් ලබා දෙන බව ට්‍රම්ප් දිගින් දිගටම පවසා ඇත.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් වනු ඇත්තේ, මුහුණට මුහුණ තමන් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වුවහොත් පමණක් යැයි ද ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


RECOMMEND POSTS