පුටින් අත්අඩංගුවට ගැනීමේ තැතක්



දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත ‘බ්‍රික්ස්’ සමුළුවට සහභාගී වීමට පැමිණෙද්දී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය සූදානම් වෙයි.

යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හේතුවෙන්, මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කළැයි පුටින්ට චෝදනා එල්ල වී ඇත. පුටින් අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කළේ මීට මාස කීපයකට පෙරය. දකුණු අප්‍රිකාව, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රාජ්‍යයක් වන බැවින්, එරටට පැමිණෙද්දී පුටින් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අවස්ථාව උදා වනු ඇත.

මේ අතර, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ජනාධිපති පුටින් තීරණය කර ඇත්තේ තමන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ‘බ්‍රික්ස්’ සමුළුවට සහභාගී නොවීමටය. පුටින් වෙනුවට රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සමුළුවට සහභාගී වනු ඇතැයි ද පැවැසෙයි.

‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවය. ආර්ථික, ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන් ‘බ්‍රික්ස්’ හවුල පිහිටුවා ගෙන ඇත. මෙවර ‘බ්‍රික්ස්’ සමුළුව පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 22 සිට 24 දක්වාය.


RECOMMEND POSTS