පිලිපීනය ප්‍රබල භූමි කම්පාවකින් කැලඹේ



රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් පිලිපීනයේ මින්ඩානෝ දූපත කැලඹිණි.

නිවාස සහ ගොඩනැගිලි බිමට සමතලා වීමෙන් එක් දරුවකු මියගොස් 60 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටි බව පැවැසෙන්නේ ඩවාඕ නුවරට කිලෝ මීටර් 90 ක් දුරිනි. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් පැවැසෙයි.

මින්ඩානෝ දූපතේ ප්‍රධාන නගරය යන්නේ ඩවාඕය. භූමි කම්පාවෙන් ඩවාඕ නගරයට දරුණු හානි සිදුවිය. නිවාස ගොඩනැගිලි බිමට සමතලා වීමෙන් බොහෝ දෙනකු සුන්බුන් අතරේ සිරවූ බව පිලිපීන පුවත් සේවා වාර්තා කළේය. සහන සේවකයන්ගේ උදව්වට පිලිපීන හමුදාව යොදවා ඇති බව ද පිලිපීන පුවත් සේවා වාර්තා කර තිබේ.

ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස්ගේ උපන් නගරය වන්නේ ද ඩවාඕ ය. භූමි කම්පාව සිදුවන අවස්ථාවේදී ජනාධිපතිවරයා සිය නිවසට ගොස් සිටියේය. භූමි කම්පාවෙන් නිවසට හානි සිදුවුණු නමුත් ජනාධිපතිවරයා දිවි බේරා ගත්තේය.

මැනිලාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS