පිලිප් කුමරු අවසන් ගමන් යද්දිත් සාද පවත්වලා



බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරුන්ගේ අවමංගල්‍ය කටයුතු පැවැත්වුණු දා සන්ධ්‍යාවේ ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, සෞඛ්‍ය නීති උල්ලංඝනය කර සාද පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

'ඩේලි ටෙලිග්‍රාෆ්' පුවත්පත පෙන්වා දෙන ආකාරයට, අග්‍රාමාත්‍ය ජොන්සන් මෙම සාදය පවත්වා ඇත්තේ පසුගිය 2021 වසරේ අප්‍රේල් 16 වැනිදාය. ඒ වනවිට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ ජනතා ඒකරාශීවීම් තහනම් කර තිබුණු බව පැවැසෙයි.

පිලිප් කුමරු යනු දෙවැනි එලිසබත් මහ රැජිනගේ ස්වාමි පුරුෂයාය. පිල්ප් කුමරුන්ගේ අවමංගල කටයුතු පවා සෞඛ්‍ය නීතිවලට අනුකූලව රජ පවුලේ සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවුණි.

'ඩේලි ටෙලිග්‍රාෆ්' පුවත්පත අනාවරණය කර ඇති අන්දමට, රැජින පිලිප් කුමරු වෙනුවෙන් දුක් වෙද්දී, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන්, සිය කාර්යාල සාමාජික සාමාජිකයන් වෙනුවෙන් ලන්ඩන් නුවර අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සාද දෙකක් පවත්වා හොඳින් කා බී විනෝද වී ඇත.

‘කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවෙන් දැඩි සංචරණ සීමා පනවා, රට ලොක්ඩවුන් කර තිබියදී, සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින්, සාද පැවැත්වීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට එල්ල වුණු දෙවැනි චෝදනාව මෙයයි.

මීට දින කීපයකයට පෙර ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන්ට මෙවැනි චෝදනාවක් එල්ල විය. ඒ, එරට විපක්ෂය වන කම්කරු පක්ෂයෙනි. එම අවස්ථාවේදී කම්කරු පක්ෂය ජොන්සන්ට බල කරන්න වූයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙසටය.

කෙසේ නමුත් දිගින් දිගටම විපක්ෂයෙන් බලපෑම් එල්ල වෙද්දී, එම සිදුවීම සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුවේ දී සමාව ඉල්ලීමට ද අග්‍රාමාත්‍ය ජොන්සන් පසුගිය 12 වැනිදා පියවර ගත්තේය.

එම චෝදනාව එල්ල වූයේ අග්‍රාමාත්‍ය ජොන්සන් 2020 මැයි මාසයේ සිය නිල නිවසේ ගෙවත්තේ එලිමහන් සාදයක් පැවැත්වූ බවටය. සාදයට 100 කට වැඩි පිරිසකට ඇරැයුම් කිරීමට සැලැසුම් කර තිබුණත්, පසුව ඊට ඇරැයුම් කර ඇත්තේ 40 දෙනකුට පමණක් බව ද බ්‍රිතාන්‍ය මාධ්‍ය අනාවරණය විය. 

අග්‍රාමාත්‍යවරයාගේ කොන්සවර්ටිව් පක්ෂ රජය විසින් ම පැනැවූ ‘කොවිඩ් 19’ තහංචි උල්ලංඝනය කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කිරීම ජනතා විශ්වාසය බිඳ දැමීමක් යැයි විපක්ෂය වන කම්කරු පක්ෂය දිගින් දිගටම පාර්ලිමේන්තුවේ දී චෝදනා නගද්දී අග්‍රාමාත්‍යවරයා විපක්ෂයෙන් මෙන්ම රටේ ජනතාවගෙන් ද සමාව ඉල්ලුවේය.

පිලිප් කුමරුන්ගේ අවමංගල්‍ය දා පැවැත්වූ සාදය ගැන කරුණු කාරණා අනාවරණය වූයේ ඉන්පසුවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS