පැසිෆික් සාගරයට කඩා වැටේ



ටොන් අටක් බර, මීටර් 10 ක් දිග, ‘ටියැංගොන් 1’ චීන අභ්‍යවකාශ පර්යේෂණාගාර මොඩියුලය අද (2) උදෑසන පෘථිවියට කඩා වැටිණි.

පැයට සැතපුම් 17,000 ක වේගයෙන් පෘථිවි වායුගෝලය හරහා ඇදී ආ පර්යේෂණාගාර මොඩියුලය, පතිත වූයේ ටහීටි දූපතට ඔබ්බෙන් පැසිෆික් සාගරයටය. එහෙයින් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි.

අක්‍රිය වී ගිය පර්යේෂණාගාර මොඩියුලය කඩා වැටෙන බව චීන බලධාරීන් පමණක් නොව, ඇමෙරිකාවේ නාසා ආයතනය ද අනතුරු ඇඟවීම් කළේ මාස කිහිපයකට පෙර සිටය. කෙසේ නමුත් පර්යේෂණාගාරය වැටෙන ස්ථානය පැවැසීමට චීන අභ්‍යවකාශ ආයතනය අපොහොසත් විය. ඒ අනුව බියක් ද හට ගෙන තිබුණි.
ඊයේ දිනයේ පර්යේෂණාගාරය පෘථිවි වායුගෝලයට පිවිසෙද්දී, පැසිෆික් සාගරයට ඔබ්බෙන් සියලු ගුවන් ගමන් නවතා දැමීමට ජාත්‍යන්තර ගුවන් පාලන අධිකාරිය කටයුතු කර තිබුණි.

‘ටියැංගොන් 1’ අභ්‍යවකාශ පර්යේෂණාගාරය පෘථිවි වායුගෝලයට ඇතුළු වූයේ තම වේලාවෙන් උදේ 8:15 ට යැයි චීනය නිවේදනය කළේය. ගිනිගෙන දැවෙමින්, ගිනි බෝලයක් ලෙස පර්යේෂණාගාරය, පෘථිවි වායුගෝලය හරහා පහළට ඇදී ආ අයුරු රේඩාර් ඡායාරූපවල පැහිදිලිව සටහන් වී ඇති බව ද පැවැසෙයි.

පෘථිවි වායුගෝලයට ඇතුළු වෙද්දී එහි කොටස් බොහොමයක් දැවී අවසන් වුණු බවත්, සාගරයට පතිත වූයේ ඉතිරිවුණු කොටස් කිහිපයක් පමණක් බවත් චීන ගගන බලධාරීහු කියති.

‘ටියැංගොන්’ යන්නෙහි අර්ථය ‘ගගන විමන’ යන්නය. ‘ටියැංගොන්’ මොඩියුලය චීනය විසින් පෘථිවි කක්ෂයේ රැඳවූ පළමු අභ්‍යවකාශ නැවැතුම්පොළ ලෙස ද සැලකෙයි. ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළ නවීන තාක්ෂණයෙන් පිරි පර්යේෂණාගාරයකින් සමන්විතය. ‘ටියැංගොන් 1’ අභ්‍යවකාශ පර්යේෂණාගාරය ලෙස හැඳින්වෙන්නේ ඒ නිසාය.

චීනය, ‘ටියැංගොන් 1’ මොඩියුලය උඩු ගුවනට යැවීම සිදු කළේ 2011 වසරේදී, ඔවුන්ගේ ලෝන්ග් මාච් රොකට්ටුවක ආධාරයෙනි. 2023 වෙද්දී, ‘ටියැංගොන් 1’ මොඩියුලයට, ‘ටියැංගොන් 2’ සහ ‘ටියැංගොන් 3’ යනුවෙන් මොඩියුල එකිනෙක සම්බන්ධ කිරීමට නියමිත විය. කෙසේ නමුත් ‘ටියැංගොන් 1’ අසාර්ථක වුණු හෙයින් චීනය එය අතහැර දැම්මේ අභ්‍යවකාශ ‘කසල’ අතරට එක් කරමිණි. පරීක්ෂණාගාර මොඩියුලය පෘථිවියට පතිත වූයේ ඒ අනුවය.

(රොයිටර්)


RECOMMEND POSTS