පාසලක 300 කට කොරෝනා



බටහිර අප්‍රිකා රාජ්‍යයක් වන ඝානාවේ උසස් බලිකා පාසලක සිසුවියන් සහ ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 300 කට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

වයිරසය ව්‍යාප්ත වී ඇත්තේ අක්රා අගනුවර උසස් බාලිකා පාසලේය. මේ වනවිට සෞඛ්‍ය බලධාරීන් මැදිහත් වී, පාසල සහ පාසල් පරිශ්‍රයේ පිහිටි නේවාසිකාගාර නිරෝධායනට ලක් කර තිබේ.
ඝාන රාජ්‍යයෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 25,000 පසු කර තිබේ. මරණ වාර්තා වන්නේ 139 ක් ලෙසය.

උසස් බාලිකා පාසල කේන්ද්‍රකොට ගත් වයිරස පොකුර පාලනය කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව ඝානා සෞඛ්‍ය අංශ පවසා තිබේ.

ආසාදිතයන් යැයි තහවුරු වී, සංකූලතා පෙන්නුම් කරන සිසුන්, ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් කීප දෙනකු රෝහල්ගත කර ඇති බවත් සෙසු පිරිස නිරෝධායනයට ලක් කරමින් පාසල් පරිශ්‍රයේ සහ නේවාසිකාගාරවල රඳවා තැබෙන බව පැවැසෙයි.

තම දැරියන් බලීමට මාපියන් පාසලට පැමිණීමට උත්සහ ගෙන ඇති නමුත් ඔවුන්ට ඒ සඳහා අවසර දී ලැබී නැත. මේ හේතුව නිසා මාපියන්ගේ දැඩි විරෝධය සෞඛ්‍ය බලධාරීන්ට එල්ල වූ බව ද ඝානා පුවත් සේවා වාර්තා කර තිබේ.

‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු ඝානාවේ පාසල් අදියරෙන් අදියර විවෘත කෙරුණේ පසුගිය ජූනි 22 වැනිදා සිටය. පළමුවෙන් ආරම්භ වූයේ උසස් පාසල් පමණි. ‘කොවිඞ් 19’ වයිරසය ‘අක්රා’ බාලිකා පාසල කේන්ද්‍රකොට ගනිමින් ව්‍යාප්තවීම සිදුවී ඇත්තේ නිසි සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා නොකළ නිසා යැයි ද පැවැසෙයි.

අක්රාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS