පාලනයෙන් ගිලිහුණු රොකට් කැබැල්ල සඳට වැටේ

පාලනයෙන් ගිලිහී ගිය රොකට් කැබැල්ලක් සඳට කඩා වැටුණි. ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ එය චීනයට අයත් රොකට්ටු කැබැල්ලක් බවය. රොකට්ටු කැබැල්ලක් සඳට කඩා වැටුණු පළමු අවස්ථාව වන්නේ මෙය යැයි ද පැවැසෙයි.
තාරකා විද්‍යාඥයන් මුලින් සිතුවේ, මෙම රොකට්ටු කැබැල්ල ඇමෙරිකා බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ සමාගමට අයත් රොකට්ටුවක ‘බූස්ටර්’ කොටසක් කියාය. කෙසේ නමුත් පසුව ඔවුන් පැවැසුවේ එය ‘ස්පේස් එක්ස්’ රොකට්ටු කැබැල්ලක් නොව, 2014 දී චීන අභ්‍යවකාශ ආයතනයේ ‘චෙංග්ඊ5ටී1’ මෙහෙයුමට යොදා ගත් රොකට්ටුවේ බූස්ටර් කොටස බවය.
රොකට්ටු කැබැල්ල, සඳුගේ අඳුරු පැත්තට කඩා වැටීමට නියමිතව තිබුණු අතර, විද්‍යාඥයන් පැහැදිලි කළේ රොකට්ටු කැබැල්ල හේතුවෙන් සඳ මතු මිට මීටර් 10 ක හෝ 20 ක ආවාටයක් නිර්මාණය වනු ඇති බවය. රොකට්ටු කැබැල්ල සඳේ ගැටෙනු ඇත්තේ පැයට කිලෝ මීටර් 9,300 ක වේගයකින් යැයි ද නාසා ආයතනය වැඩි දුරටත් පැහැදිලි කළේය.
චීනයේ ‘චෙංග්ඊ5ටී1’ මෙහෙයුම සිදුවූයේ 2014 ඔක්තෝබර් 236 වැනිදාය. එය පෙර පුහුණුවක් ලෙස රොබෝ යානයක් සඳට යැවීමට ගත් උත්සාහයකි. චීනයට 2020 වසරේ දී ‘චෙංග්ඊ5’ මෙහෙයුම සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණේ‘චෙංග්ඊ5ටී1’ පුහුණු මෙහෙයුමෙන් පසුවය.
චීනය, 2020 දී සඳ මතට රොබෝ ගවේෂණ යානයක් ගොඩබෑමට සැලැස්වූයේ ‘චෙංග්ඊ5’ මෙහෙයුම යටතේය. සඳට කඩා වැටුණ රොකට්ටු කැබැල්ල, පසුගිය වසර ගණනාව පුරාවට පෘථිවියත් සඳත් අතර පාවෙමින් තිබුණි. අභ්‍යවකාශයේ පෘථිවිය වටේ ඇති මෙවැනි අත්හැර දැමුණු සහ අක්‍රිය වුණු රොකට්ටු කැබලි, අභ්‍යවකාශ යානා කොටස්, චන්ද්‍රිකා ආදිය හැඳින්වෙන්නේ අභ්‍යවකාශ කසළ යනුවෙනි.
මෙවැනි අභ්‍යවකාශ කසල ගැන තාරකා විද්‍යාඥයෝ නිරන්තර අවධානයෙන් පසුවෙති. සඳ මතට රොකට්ටු කැබැල්ලක් කඩා වැටෙන බව මීට සති කීපයකට පෙර පළමුවෙන් සොයා ගත්තේ තාරකා නිරීක්ෂකයකු වන බිල් ග්‍රේ ය.
එම රොකට්ටු කැබැල්ල ‘ස්පේස් එක්ස්’ කැබැල්ලක් යැයි පළමුවෙන් ලොවට පැවැසුවේ ද බිල් ග්‍රේ ය. පසුව ඔහු විසින් ම එය නිවැරදි කරනු ලැබුණි. ඒ, රොකට්ටු කැබැල්ල චීනයට අයත් පෙන්වා දෙමිනි. එය තහවුරු කළේ නාසා ආයතනයයි.
(ඒ.එෆ්.පී.)

