පාලක පක්ෂයට පහසු ජයක්



කාම්බෝජ මහ මැතිවරණය ඊයේ (29) පැවැත්වුණු අතර, එයින් පහසු ජයක් හිමිකර ගැනීමට 1985 වසරේ සිට බලයේ රුඳී සිටින අගමැති හුන් සෙන් ප්‍රමුඛ කාම්බෝජ ජනතා පක්ෂය සමත් විය.

මැතිවරණයට දේශපාලන පක්ෂ 19 ක් ඉදිරිපත් වුවත්, කාම්බෝජ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන ජාතික ගලවා ගැනීමේ පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වූයේ නැත.

ඒ, පසුගිය වසරේ නොවැම්බරයේ කාම්බෝජ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික ගලවා ගැනීමේ පෙරමුණ තහනම් කරනු ලැබීම හේතුවෙනි.

ජාතික ගලවා ගැනීමේ පෙරමුණ තහනම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත්තේ එම පක්ෂයේ සාමාජිකයන් ඇමෙරිකාව සමග එක් වී, කාම්බෝජ රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කරනවා යැයි අගමැති හුන් සෙන් ප්‍රමුඛ රජය චෝදනා එල්ල කිරීමෙන් පසුවය.

ඊයේ පැවැති මහ මැතිවරණයේදී සියයට 82.71 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කළේ යැයි පැවසෙයි.

අගමැති හුන් සෙන්ගේ පාලක පක්ෂය, පාර්ලිමේන්තුවේ ආසන 125 න් ආසන 100 ක් දිනා​ ගෙන තිබුණු බව කාම්බෝජ රජයේ පුවත් සේවා වාර්තා කළේය. එය සියයට 80 ක ප්‍රතිශතයක් බව ද පැවැසිණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS