පාකිස්තානයේ බෝම්බ පිපිරීම් දෙකක්



පාකිස්තානයේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකක සිදුවුණු බෝම්බ පිපිරීම් දෙකකින්, පනස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 130 කි.

රෝහල් ආරංචි මාර්ග පැවැසුවේ, තුවාල ලැබූවන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.
පළමු බෝම්බය පුපුරා ගියේ මුහම්මද් නබි නායක තුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් ඊසානදිග පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ මුස්ටාන් නුවර පැවැත්වුණු ආගමික රැලියක් පැවැත්වෙද්දීය.

එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව බලුකිස්තාන පොලිස්පති අබ්දුල් කලීක් ෂයික් තහවුරු කර තිබේ. ආගමික රැලියට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙක් ද ජීවිතක්ෂයට පත් විය.

නවාස් ගිෂ්කෝරි නමැති එම පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්වූයේ බෝම්බකරු මෙල්ල කිරීමට යෑමේදී යැයි පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

දෙවැනි බෝම්බය පුපුරා ගියේ නිරිතදිග පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා ප්‍රාන්තයේ හැංගු නගරයේ මුස්ලිම් පල්ලියක් තුළය. එයින් 5 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව පැවැසෙයි. තුවාල ලැබූ ගණන 15 කි.

පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන 'තරීක් ඊ තලේබාන්' ත්‍රස්ත කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ බෝම්බ ප්‍රහාර දෙකට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

සිදුවුණු බෝම්බ ප්‍රහාරවලින් ජීවිත අහිමි වීම සම්බන්ධයෙන් තමන් කනගාටුව පළ කරන බව ද 'තරීක් ඊ තලේබාන්' කණ්ඩායම වැඩි දුරටත් පවසා තිබේ.


RECOMMEND POSTS