පාකිස්තානයෙන් පිට වෙන්න - ප්‍රංශ වැසියන්ට දැනුම් දීමක්

පාකිස්තානයේ සිටින ප්‍රංශ ජාතිකයන්ට සහ ප්‍රංශ සමාගම්වලට තාවකාලිකව පාකිස්තානයෙන් පිටත්වන්නැයි එරට ප්‍රංශ තානාපති කාර්යාලය දැනුම් දීමක් කර ඇත.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් දෙවියන්ට අපහාස කර ඇතැයි චෝදනා කරමින් පාකිස්තානයේ සිටින අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් විරෝධතා ආරම්භ කර ඇති අතර මේ වනවිට එම විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත. ‘‘පාකිස්තානයේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රංශ ජාතික පුරවැසියන්ට සහ ප්‍රංශ සමාගම්වලට රටින් පිටවන ලෙස අපි උපදෙස් දෙනවා. තාවකාලිකව රටින් පිටවෙන්න’’ යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාකිස්තානයේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.
කෙසේ නමුත් පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලය විවෘතව තබන බව ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තවත්නිලධාරියෙක් කීය.
ප්‍රංශයේ පිහිටි ප්‍රංශ පුවත් සේවය පාකිස්තානයේ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයට විද්‍යුත් ලිපියක් (ඊමේල්) යවමින් මේ සම්බන්ධයෙන් විමසීමක් කර ඇත.
ඊට පිළිතුරු ලිපියක් යවා ඇති ප්‍රංශ තානාපති කාර්යාලය පාකිස්තානයේ සිටින ප්‍රංශ පුරවැසියන්ට සහ ප්‍රංශ සමාගම්වලට රටින් පිටවන්නැයි උපදෙස් දුන් බව තහවුරු කළේය. දැනට ක්‍රියාත්මක වාණිජ ගුවන් සේවා මගින් ප්‍රංශ වැසියන් ප්‍රංශයට රැගෙන යන බව තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
පාකිස්තානයේ තෙහ්රීක් ඊ ලබායික් පාකිස්තාන් (ටී.එල්.පී.) පක්ෂය අන්ත දක්ශිණාංෂික පක්ෂයක් වන අතර ප්‍රංශ විරෝධී මතවාදයක් දරයි. එම පක්ෂය ඉකුත් නොවැම්බර් මාසයේ සිට විරෝධතා පවත්වයි. මෙම විරෝධතා බොහොදෙනකුගේ අවධානයට යොමු විය.
මෙම විරෝධතා හේතුවෙන් මුස්ලිම් ජාතිකයන් කෙරෙහි අනවශ්‍ය බියක් ඇති කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද එක් අවස්ථාවකදී පැවැසීය. ප්‍රංශ තානාපතිවරයා පිටුවහල් කිරීම, ප්‍රංශ භාණ්ඩ වර්ජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කරන බවට පාකිස්තාන ආණ්ඩුව පොරොන්දු වීමත් සමඟ ටී.එල්.පී. පක්ෂය විරෝධතා නතර කළේය.
ප්‍රංශ තානාපතිවරයා රටින් පිටුවහල් කිරීමට අප්‍රේල් 20 වැනිදා දක්වා කල් ලබාදෙන බව ටී.එල්.පී. පක්ෂය මුලින් ප්‍රකාශ කර තිබිණි. එසේ තිබියදී එම පක්ෂයේ ප්‍රධානී සාද් රිස්වි පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඒත සමඟ මේ සතියේ දී නැවත වරක් විරෝධතා ඇති විය. එම විරෝධතා මේ වනවිට උත්සන්න වී තිබේ.
(රොයිටර්)

