පාකිස්තානය පුරා විදුලිය බිඳ වැටීමක්



විදුලි බල පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පාකිස්තානය පුරා විදුලිය බිඳ වැටුණු බවත් මිලියන 20 ක් පීඩාවට පත්වුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පාකිස්තාන ඉස්ලාමාබාද් අගනුවර කටයුතු මෙන්ම, එරට ප්‍රධාන ආර්ථික නගරය වන කරච්චි නුවර කටයුතු ද මෙම විදුලිය බිඳ වැටීම හේතුවෙන් අඩපණ විය. ඊට අමතරව, පෙෂාවෝර් සහ ලාහෝර් යන ප්‍රධාන නගරවල කටයුතු ද මුළුමනින්ම අඩපණ වුණු බව මාධ්‍ය වාර්තා පැවැසීය.

පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. එම ආර්ථික අර්බුදය හේතුවෙන් බලශක්ති අර්බුදයක් ද නිර්මාණය වී ඇත. පසුගිය කාලය පුරා දිනකට පැය ගණනින් විදුලි කප්පාදු කිරීමට පාකිස්තාන රජයට සිදුවිය. දෛනිකව නොකඩවා විදුලිය සැපැයීම විදුලි බල අමත්‍යාංශ බලධාරීන්ට අභියෝගයක් වී ඇතැයි ද පැවැසෙයි.

පාකිස්තාන විදුලි බල පද්ධතියේ දෝශයක් යට ගත්තේ එරට වේලාවෙන් උදෑසන 7.34 ට පමණය. කෙසේ නමුත් බිඳ වැටුණු විදුලිය සැපැයුම යළි යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් ක්‍රියා කරන බව පාකිස්තාන බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS