පාකිස්තාන ත්රස්ත ඉලක්කවලට ඉන්දියාවෙන් ප්රහාරයක්

ජම්මු කාශ්මීරයේ ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින්, ඉකුත් 14 වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයට විරෝධය දක්වමින්, ඉන්දු පාකිස්තාන දේශසීමාවේ, පාකිස්තානයේ පිහිටි හඳුනාගත් ත්රස්ත කඳවුරුවලට ඉන්දීය ගුවන් හමුදාව අද (26) අලුයම බෝම්බ ප්රහාර එල්ල කළේය.
ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තානයේ ත්රස්ත පුහුණු කඳවුරු ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ ඉන්දීය බුද්ධි අංශ තොරතුරු පාදක කර ගනිමිනි. පහර දීම සිදු කළේ අද අලුයම 3.30 ට පමණය.
ත්රස්ත පුහුණු කඳවුරුවලට ප්රහාර එල්ල කර ඇත්තේ, ලේසර් තාක්ෂණයේ ආධාරයෙනි. ප්රහාර සඳහා කිලෝ ග්රෑම් 1,000 ක් බරැති බෝම්බ යොදා ගත් බව ද ඉන්දීය ගුවන් හමුදාව පවසා ඇත. ලේසර් තාක්ෂණයෙන් නිවැරදිව ඉලක්ක හඳුනා ගත් නිසා, එල්ල කළ ප්රහාර සියයට සියයක් සාර්ථක වුණු බවත්, ත්රස්ත පුහුණු කඳවුරු මුළුමනින්ම විනාශ වූ බවත් ඉන්දීය ගුවන් හමුදාව කියා සිටී.
ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් ගමන් කරමින් සිටි බස් සහ ලොරි රථ පෙළක් ඉලක්ක කර ගනිමින්, ජම්මු කාශ්මීරයේ පුල්වාමා දිස්ත්රික්කයේ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය සිදුවූයේ පසුගිය 14 වැනිදාය. බෝම්බ ප්රහාරයෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයෝ 46 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප්රහාරය එල්ල කළේ තමන් යැයි ‘ජායිෂ් ඊ මොහොමද්’ නමැති ඉස්ලාමීය ත්රස්ත කල්ලිය වගකීම බාර ගත්තේය. ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්රස්ත කල්ලිය පාකිස්තාන රජයේත්, එරට අයි.එස්.අයි. බුද්ධි අංශයේත් සහාය සහ අනුග්රහය හිමිවන බව ඉන්දියාව පමණක් නොව ඇමෙරිකාව ද චෝදනා කර තිබේ.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)

