පාකිස්තාන ගුවන් සීමාව ඉන්දියාවට තහනම්

ඉන්දියාවට පාකිස්තාන ගුවන් සීමාව තහනම් කිරීමටත්, ඉන්දියාව පාකිස්තානය හරහා ඇෆ්ගනිස්තානය සමඟ සිදු කරන වෙළෙඳ ගනුදෙනු අවහිර කිරීමටත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සූදානම් වන බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි.
පාකිස්තාන අගමැතිවරයා ගැනීමට සැරැසෙන මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ පාකිස්තාන තොරතුරු තාක්ෂණ ඇමැති ෆවාද් චෞද්රිය. ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි.
‘ඉන්දියාවට පාකිස්තාන ගුවන් සීමාව භාවිතය මුළුමනින්ම නැවැත්වීමට අගමැති ඉම්රාන් ඛාන් සූදානම් වෙනවා. ඉන්දියාව ඇෆ්ගනිස්තානය සමඟ වෙළෙඳ ගනුදෙනු කරන්නේ පාකිස්තානය හරහා එය වැළැක්වීමටත් පාකිස්තාන අගමැති මෝදි දැඩි තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා’ යැයි ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ අතර, කාශ්මීරය මුල්කොට ගනිමින් නිර්මාණය වූ අර්බුදය අවසන් කර සාමය උදාකර ගැනීමට ඉන්දියාව සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට උත්සාහ ගැනීමෙන් පලක් නැතැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා තිබේ.
පාකිස්තාන අගමැති ඉම්රාන් මෙසේ පවසා ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ‘අගමැති ධුරයට පත්වුණු දා පටන් මා උත්සාහ කළා ඉන්දියාව සමඟ සාකච්ඡා පවත්වන්න. දෙරට අතර සාමය ඇති කරන්න. බොහොම ඉවසීමෙන් කටයුතු කළා. ඒත් ඉන්දියාවට සාමය ගැන තැනීමක් නැහැ. සාකච්ඡා පැවැත්වීමේ අරමුණක් ඔවුන්ට නැහැ.’ යැයි පාකිස්තාන අගමැතිවරයා පවසා තිබේ.
ඉන්දියාවට අයත් කාශ්මීරයට ඉන්දීය ව්‍යවස්ථාවෙන් ලබා දී තිබුණු විශේෂිත බලතල ඉවත් කිරීමට ඉන්දීය රජය පියවර ගැනීමත් සමඟ ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදකාරී තත්ත්වය උත්සන්න වී ඇත. ඉන්දීය රජය කටයුතු කළ ආකාරය නීතිවිරෝධී යැයි පාකිස්තානය චෝදනා කරයි.
ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)

