පාකිස්තාන අත්අඩංගුවේ සිටින නියමුවා ඉන්දියාව ආපසු ඉල්ලයි



පාකිස්තාන ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු, පාකිස්තාන අත්අඩංගුවට පත් වුණු ඉන්දීය ගුවන් හමුදා නියමු අභිනන්දන් වර්තාමන් වහා නිදහස් කරන ලෙසත්, ඔහු යළි ඉන්දියාවට බාර දෙන ලෙසත්, ඉන්දීය රජය පාකිස්තානයට දන්වා ඇත.

පාකිස්තාන ගුවන් හමුදාව ඉන්දීය ගුවන් හමුදාව ඊයේ 27 පහර දුන්නේ, පෙරේදා 26 වැනිදා ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තාන දේශසීමා උල්ලංගනය කරමින්, පාකිස්තානයට පැමිණ පාකිස්තානයේ බලාකෝත් ප්‍රදේශයට කළ ප්‍රහාරයට එකටඑක කිරීමක් ලෙසය.

ඉන්දු පාකිස්තාන දේශසීමාවේදී ඉන්දියාව දෙසින් පියාසර කරන්න වූ ඉන්දීය ප්‍රහාරක යානා දෙකකට පාකිස්තාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා පහර දුන්නේය.

උඩු ගුවනේ ගුවන් යානා එකිනෙක වෙඩි හුවමාරු කර ගනිද්දී, එක් ඉන්දීය ප්‍රහාරක යානයක් පාකිස්තානයට කඩා වැටුණි. පාකිස්තාන හමුදා අත්අඩංගුවට පත් වූයේ එම ප්‍රහාරක යානයේ නියමුවා අභිනන්දන් වර්තාමන් ය. අභිනන්දන් වසර 16 ක පළපුරුද්දක් ඇති ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක නියමුවෙකි. මොහු දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර වැසියෙකි.

ඉන්දීය ගුවන් යානාවලට පාකිස්තාන ප්‍රහාරක යානා පහර දීම කළ අවස්ථාවේදී පාකිස්තාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අසීෆ් ඝෆූර් කියා සිටියේ, ඉන්දීය ප්‍රහාරක යානා නියමුවන් දෙදෙනකු තම අත්අඩංගුවේ පසුවන බවය. දෙදෙනාම යහතින් පසුවන බව පැවැසුවත්, ප්‍රසිද්ධියට පත් කළේ අභිනන්දන්ගේ ඡායාරූප සහ වීඩියෝ දසුන් පමණි.

උඩු ගුවනේ සිදුවුණු ගැටුමේ දී ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා කළ ප්‍රහාරකින් පාකිස්තාන ප්‍රහාරක යානයක් ද කඩා වැටුණු බව පැවැසුවත්, පාකිස්තානය එය ප්‍රතික්ෂේප කර ඇති බව ද පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS