ප්‍රංශ ජාතික දිනයේ ප්‍රධාන අමුත්තා මෝදි



ප්‍රංශ ජාතික දිනය හෙවත් ‘බැස්ටීල් දිනය’ හෙට (14) ට යෙදී තිබේ. ප්‍රංශයේ පැරිස් අගනුවර ‘බැස්ටීල් දින’ සැමරුමක් පැවැත්වෙන අතර එහි ප්‍රධාන අමුත්තා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ විශේෂ ඇරැයුම පිළිගනිමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පැරිසිය බලා පිටත් වූයේ විශේෂ ගුවන් යානයකිනි. ප්‍රංශ ජනාධිපති මැක්රොන් හමුවී ඉන්දු ප්‍රංශ සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට මෝදි කටයුතු කරනු ඇතැයි ද පැවැසෙයි.

මෙම 2023 වසරේ ඉන්දියා ප්‍රංශ මිත්‍රත්වයට වසර 25 ක් සපිරෙයි. ආරක්ෂක කටයුතු, න්‍යෂ්ටික බලශක්ති කටයුතු, වෙළෙඳ සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි සහ ප්‍රංශ ජනාධිපති මැක්රොන් අතරේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

බැස්ටීල් දින හමුදා පෙළපාළි සඳහා ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කණ්ඩායමක් සහභාගී වනු ඇතැයි ද පැවැසෙයි. ඊට අමතරව, ඉන්දීය ගුවන් හමුදාවට අයත් ‘රෆේල්’ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 3 ක් ද සැමරුමට එක් වීමට නියමිතය. මෙම ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා, ප්‍රංශ ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා සමඟ එක් වී ගුවන් සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.


RECOMMEND POSTS