පර්ල් වරායට එල්ල වූ ප්‍රහාරයට වඩා දරුණුයි



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වංසගතයෙන් ඇමෙරිකාවට එල්ල වූ බලපෑම දෙවැනි ලෝක යුද්ධයේ දී ජපනුන් පර්ල් වරායට බෝම්බ හෙලීමේ සිදුවීමට වඩා දරුණු යැයි ඇමෙරිකන් ජනධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කර ඇත.

‘වයිරසය ඇමෙරිකාවට එල්ල කළ ප්‍රහාරය දරුණුයි. පර්ල් වරායට එල්ල කළ ප්‍රහාරයට වඩා දරුණු ලෙස ඇමෙරිකානුවන්ට බලපෑම් එල්ල කර තිබෙනවා’ යැයි ජනපති ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටියේය.

පර්ල් වරාය යනු ඇමෙරිකාවට අයත් හවායි හොනලූලු හි පිහිටි ප්‍රධාන නාවික හමුදා කඳවුරය. දෙවැනි ලෝක යුද සමයේ 1941 දෙසැම්බර් 7 වැනිදා, නාසි හමුදාවට සහාය දැක්වූ ජපාන රාජකීය ගුවන් හමුදාව, කුඩා සැහැල්ලු ගුවන් යානා යොදා ගනිමින් පර්ල් වරායට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේය. එයින් මියගිය ඇමෙරිකන් හමුදා නිලධාරීන් ගණන 2,335 කි.

එම ප්‍රහාරය ඇමෙරිකාවට එල්ල වූ අතුල් ප්‍රහාරයක් ලෙස සැලකිණි. ඇමෙරිකාව හිරෝෂීමා සහ නාගසාකී යන ජපාන නගර දෙක ඉලක්ක කර ගනිමින් පරමාණු බෝම්බ හෙළුවේ ඉන්පසුවය. ඒ සමඟ ජපානය යටත් වූ අතර, දෙවැනි ලෝක යුද්ධය ද අවසන් විය.

‘කොවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චීනයට චෝදනා කරයි. ඒ, වයිරසය වූහාන් නුවර රසායනාගාරයක් තුළ නිපදවූයේ යැයි පෙන්වා දෙමිනි. වයිරසය ආරම්භ වූයේ ද වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.
මේ වනවිට චීනයෙන් පිට වැඩිම ‘කොවිඞ් 19’ මරණ සහ ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ කොවිඞ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1,228,600 පසු කර ඇති අතර මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 73,431 ක් ලෙසිනි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS