පක්ෂ සමුළුව කල් දමනවා - ට්‍රම්ප්

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ජැක්සන්විල් නුවර පැවැත්වීමට නියමිත රිපබ්ලිකන් පක්ෂ සමුළුව කල් දැමීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය.
‘පක්ෂ සමුළුව පැවැත්වුවහොත් ඊට 10,000 කට වැඩි පිරිසක් අනිවාර්යයෙන් සහභාගී විය යුතුයි. සීමා කිරීමක් කරන්න බැහැ. ඒ නිසා මා තීරණය කළා, කොරෝනා වසංගතය සැලකිල්ලට ගනිමින් සමුළුව පැවැත්වීම කල් දමන්න. ඇමෙරිකන් වැසියන්ගේ ආරක්ෂාවට සැමවිටම මුල් තැන දෙන්න ඕනෑ’ යැයි ජනපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස අවදානම සැලකිල්ලට ගනිමින් ජනතාව ආරක්ෂා කිරීම සඳහා ට්‍රම්ප් නිවැරදි තීරණයක් ගත් පළමු අවස්ථාව මෙය යැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.
රිපබ්ලිකන් පාක්ෂිකයන් සහභාගී වන මෙම සමුළුව පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් 3 වැනිදා ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන බැවිනි. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය සඳහා රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින්, ට්‍රම්ප් ඊට ඉදිරිපත් වෙයි.
මෙවර ජනාධිපතිවරණයේ ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන්නේ ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරන ජෝ බයිඩන්ය. ට්‍රම්ප්ට පෙර, බැරුක් ඔබාමා ජනපති ධුරය හොබවද්දී ඇමෙරිකා උප ජනපති වූයේ බයිඩන්ය. බයිඩන් පවසා ඇත්තේ ‘කොවිඩ් 19’ වයිරස වසංගතය හේතුවෙන්, කිසිදු ජන රැලියක් පවත්වන්නේ නැති බවය.
වොෂින්ටනයේදීය (රොයිටර්)

