නොබෙල් තෑග්ගට ට්‍රම්ප්ගේ නම



මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගයට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නම යෝජනා වී ඇත.

ට්‍රම්ප්ගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කර ඇත්තේ ඔහුගේ රිපබ්ලිකන් පක්ෂ සාමාජිකා ක්ලෝඩියා ටෙනී ය.

ඒ, ට්‍රම්ප් ජනාධිපති ධුරයේ සිටිද්දී, මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාපිත කිරීමට සකස් කළ ප්‍රතිපත්ති මුල්කොට ගනිමිනි. ට්‍රම්ප්ගේ එම ප්‍රතිපත්ති මාලාව නම් කර ඇත්තේ ඒබ්‍රහම් ගිවිසුම යනුවෙනි. මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාපිත කරමින්, ආරක්ෂාව තහවුරු කිරීමට ට්‍රම්ප්, ඒබ්‍රහම් ගිවිසුම හරහා යෝජනා කර තිබේ.

2020 වසරේ දී, ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී, මෙම ඒබ්‍රහම් ගිවිසුම යටතේ පසමිතුරන් වී සිටි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, බහරේනය සහ ඊශ්‍රායල අතරේ යහපත් සබඳතා ඇති කිරීමට කටයුතු කළේය. ඇමෙරිකන් ජනාධිපතිවරයකු මැදපෙරදිග කලාපයේ අර්බුද විසඳීමට මැදිහත් වූ පළමු අවස්ථාව මෙය යැයි ක්ලෝඩියා ටෙනී වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

ට්‍රම්ප් මැදපෙරදිග කලාපයේ සාමය හෝ ආරක්ෂාව ගැන තැනීමක් කළ අයකු නොවේ යැයි ට්‍රම්ප් විරෝධී ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ පෙන්වා දෙති.

ඊශ්‍රායලයේ ජෙරුසලම, ඊශ්‍රායල යුදෙව් වැදියන්ගේ අගනුවර යැයි පිළිගනිමින්, ඊශ්‍රායලයේ ලේ අවීව් නුවර පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලය, ජෙරුසලමට මාරු කළේ ද ට්‍රම්ප්ගේ තීරණයකට අනුවය.

මෙය ඊශ්‍රායලයේ සතුටට හේතුවක් වූ නමුත්, පලස්තීනුවන්ගේ දැඩි අප්‍රසාදයටත් විරෝධයටත් හේතුවක් වූ බවත්, ඊශ්‍රායල පලස්තීන අර්බුදය උත්සන්න කිරීමට ද එය හේතුවක් වූ බවත් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.


RECOMMEND POSTS