නිවෙස්වල බලු සුරතලුන් අවන්හල්වලට

නව කොරෝනා වයිරසය හේතුවෙන් දේශසීමා වසා දැමීමත් සමඟ, උතුරු කොරියාවේ ආහාර අර්බුදය තවත් උත්සන්න වී ඇති බැවින්, යොංග්යැංග් අගනුවර නිවෙස්වල බලු සුරතලුන් මස් පිණිස අවන්හල් වෙත බාර දෙන්නැයි නායක කිම් ජොන් උන් අගනුවර වැසියන්ට අණ කර තිබේ.
හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන්, ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පනවා ඇති සම්බාධක හමුවේ, උතුරු කොරියානුවන් ආහාර අර්බුදයකට මුහුණ දුන්නේ වසර ගණනාවක් තිස්සේය.
අතීතයේ අවස්ථා ගණනාවකදී උතුරු කොරියාවේ හටගත් සාගත තත්ත්වයන් හේතුවෙන් ද බොහෝ දෙනකුට ජීවිත අහිමිවුණු බව ද බටහිර මාධ්‍ය වාර්තා නර තිබේ.
දකුණු කොරියාව සමඟ පවතින නොහොඳ නෝක්කඩු හේතුවෙන්, උතුරු කොරියාව ශක්තිමත් සමීප සබඳතා පවත්වන්නේ චීනය සමඟ පමණි.
කෙසේ නමුත් චීනයෙන් කොරෝනා වයිරසය ආරම්භ වෙද්දී, උතුරු කොරියාව දේශසීමා වසා දැමීමට පියවර ගත්තේය. තවමත් උතුරු කොරියාවෙන් කිසිදු ආසාදිතයකු වාර්තා වී නැත.
චීනය සමඟ දේශසීමා වසා දැමීමත් සමඟ උතුරු කොරියාව උග්‍ර ආහාර සහ ආර්ථික අර්බුදයකට මුහුණ පෑවේය.
ආහාර හිඟය දරුණු ලෙස උතුරු කොරියානුවන්ට දැනෙන්න පටන්ගෙන ඇති හෙයින්, නිවෙස්වල බලු සුරතලුන් මස් පිණිස අවන්හලට දෙන්නැයි නායක කිම් ජොන් උන් අණ දී ඇත්තේ ඊට පිළියමක් ලෙස යැයි බ්‍රිතාන්‍යයේ ‘ස්කයි නිවුස්’ පුවත් සේවය වාර්තා කර තිබේ.
යොංග්යැංග්හිදීය (ස්කයි නිවුස්)

