නිව්යෝක් නුවරට යළිත් තහංචි



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් නිව්යෝක් නුවරට යළිත් වරක් තහංචි පැනැවීමට නිව්යෝක් ප්‍රාන්ත ආණ්ඩුකාර ඇන්ඩෲ කුමෝ පියවර ගත්තේය.

නිව්යෝක් වැසියන් බේරා ගැනීමේ අරමුණින්, මෙසේ තහංචි පැනැවීම කළ බවත්, නිව්යෝක් වැසියන්ට ලැබෙන ‘අවසන් අවස්ථාව’ වනු ඇති බවත් තහංචි පනවමින් ආණ්ඩුකාරවරයා පැවැසුවේය. පනවා ඇති තහංචිවලට අනුගත වෙමින්, සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපඳිමින්, වගකීමෙන් කටයුතු කරන්නැයි ද ආණ්ඩුකාරවරයා ඉල්ලීමක් කළේය.

තහංචි පනවමින්, කොරෝනා මර්දනයට යොමු වීම සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් ආණ්ඩුකාර ඇන්ඩෲ කුමෝ ප්‍රසංශා කර ඇතැයි ද ඇමෙරිකන් මාධය වාර්තා පෙන්වා දෙයි. ඇන්ඩෲ කුමෝ ද ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකි.

ඇමෙරිකාවේ කොරෝනා වයිරසය ආරම්භ වී ව්‍යාප්තිය ආරම්භ වූ කේන්ද්‍රස්ථානයක් ලෙස නිව්යෝක් නුවර සැලකෙයි. මීට පෙර අවස්ථා කීපයකදී නිව්යෝක් ප්‍රාන්තයටත් නිව්යෝක් නුවරටත් තහංචි පැනැවීමට ආණ්ඩුකාර ඇන්ඩෲ කුමෝ පියවර ගත්තේය. මේ හේතුව නිසා ආණ්ඩුකාරවරයා සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ මත ගැටුම් හට ගැණින.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 10,708,630 කි. මරණ වාර්තා වන්නේ 2,47,397 කි. සුවය ලැබූ ගණන 6,648,676 කි. ඇමෙරිකාවේ ජනපද අතරින්, ටෙක්සාස් ජනපදයේ ආසාදිතයන් ගණන මේ වනවිට 1,000,000 සීමාව කර තිබේ. ටෙක්සාස් ජනපදයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 1,055,199 කි. මරණ වාර්තා වන්නේ 19,573 කි.

ඇමෙරිකාවේ ජනපද අතරින් දෙවැනියට සහ තෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ කැලිෆෝනියා සහ ටෙක්සාස් ජනපදවලිනි. ආසාදිතයන් අතින්, නිව්යෝක් නගරය අයත් නිව්යෝක් ජනපදය ඇත්තේ සිවුවැනි ස්ථානයේය.

කෙසේ නමුත් ඇමෙරිකාවේ කොරෝනා මරණ අතින් අංක එක ස්ථානයේ ඇත්තේ නිව්යෝක් ජනපදයයි. නිව්යෝක් ජනපදයෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 33,898 කි. මේ වනවිට ලොව පුරා කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 52,441,000 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ වාර්තා වන්නේ 1,289,800 ක් ලෙසය. සුවය ලැබූ ගණන 36,700,000 ක් යැයි පැවැසෙයි.

නිව්යෝක් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS