නිව්යෝක් නුවර සරම්ප වසංගතයක්



නිව්යෝක් නුවර සරම්ප වසංගත තත්ත්වයක් වාර්තා වන බව ඇමෙරිකන් පුවත් සේවා අනාවරණය කළේය.

මාධ්‍ය හමුවක් කැඳවමින්, නිව්යෝක් පුරපති බිල් දෙ බ්ලැසියෝ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේය.

පුරපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, පැය 24 ක් ඇතුළත සරම්ප පැතිර යන පළාත්වල වැසියන් වහාම සරම්ප එන්නත් ලබා ගැනීම කළ යුතු බවය. සරම්ප එන්නත් නොසලකා හරින අයකු සිටී නම් ඔවුන්ට දඬ ගැසීමට පියවර ගන්නා බව ද පුරපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

අවුරුදු 6 ට වැඩි දරුවන් සැමට සරම්ප එන්නත ලබාදීම කළ යුතු බවත්, කුඩා බිලිඳුන්ට සරම්ප එන්නත් ලබා දී ඇති නම්, එම ලියකියවිලි සෞඛ්‍ය බලධාරීන්ට ඉදිරිපත් කර ඒවා සහතික කර ගැනීම කළ යුතු බවත් පුරපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පසුගිය සැප්තැම්බරයේ සිට මේ දක්වා සරම්ප රෝගීන් 285 ක් හමුවී ඇත. එයින් 246 ක් කුඩා දරුවන්ය. සරම්ප වසංගත තත්ත්නය උත්සන්න වී ඇත්තේ බෘක්ලින් පළාතෙනි. නිව්යෝක් නුවර මීට පෙර මේ අයුරින් සරම්ප වසංගතයක් හටගෙන ඇත්තේ 1991 වසරේ යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සරම්ප යනු ඉතා ඉක්මණින් ආසාදනය වන වෛරසයකි. සරම්ප වෛරසය වැලදීමෙන් නිව්මෝනියා තත්ත්වයක් මෙන්ම මොළය ඉදිමීමේ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී.

රෝහල් ගත කරනු ලැබ සිටින සරම්ප රෝගීන් 285 දෙනාගෙන් 21 දෙනකු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරු පවසති. කිසිදු මරණයක් මෙතෙක් වාර්තා වී නැත.

නිව්යෝක්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS