නිර්භයාගේ ඝාතකයන් එල්ලා මැරීම කල් යයි



මීට වසර අටකට පෙර, නවදිල්ලි වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක් කළ වරදකරුවන් සිවුදෙනාගේ මරණ දඬුවම අද (1) දින තිහාර් බන්ධනාගාරයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු නමුත් දිල්ලි අධිකරණයක් ලබා දුන් තීන්දුවකට අනුව එම කටයුත්ත කල් දැමුණි.

මරණ දඬුවම අත්හිටුවීම සිදුවූයේ අවසන් මොහොතේය.

23 හැවිරිදි ‘නිර්භයා’ යන නමින් හැඳින්වෙන එම වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක් වූයේ 2012 දෙසැම්බර් 16 වැනිදා නවදිල්ලියේදීය. බරපතල ලෙස තුවාල ලබා සිටි ඇය රෝහල් ගත කිරීමෙන් පසු අධික වේදනාවෙන් මියගියාය.

මෙම සිදුවීම ඉන්දියාව පමණක් නොව, මුළු ලොවම කැලැඹීමට හේතුවක් විය.

මරණ දඬුවම නියම වූ අවස්ථාවේදී, වරදකරුවන් සිවු දෙනාගෙන් එක් අයකු වන විනෙයි කුමාර් ෂර්මා, ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ඒ.පී. සිං හරහා ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද්ගෙන් සමාව ඉල්ලීමක් කර ඇත. එම සමාව ඉල්ලීම කර ඇත්තේ පසුගිය 29 වැනිදාය.

තවත් අපරාධකරුවකු වන පවන් ගුප්තා නමැත්තා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දල්ලි අධිකරණයක් කටයුතු කළේය.

පවන් ගුප්තා යනු අපරාධකරුවන් සිවුදෙනාගෙන් ළාබාලතම තැනැත්තාය. 2012 දී තරුණිය කෙළසද්දී මොහු බාලවයස්කාරයෙක් විය.

පවන් ගුප්තා මේ බව දන්වා මරණ දඬුවම නවත්වන්නැයි ඉල්ලීමක් කර තිබුණි. ඒ මතය දිල්ලි අධිකරණය පිළිගත් අතර, නැවත දැනුම් දෙන තුරු සිවු දෙනාගේම මරණ දඬුවම අත්හිටුවීමට තීරණය කළේය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS