නියමුවා නිදහස ලබන තුරු ඉන්දියානුවෝ නොඉවසිල්ලෙන්
පාකිස්තාන හමුදාව අල්ලා ගනු ලැබූ ඉන්දීය ප්‍රහාරක යානා නියමු අභිනන්දන් වර්තමාන් නිදහස ලබන තුරු ඉන්දියානුවෝ නොඉවසිල්ලෙන් පසුවෙති.
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ, නියමුවා නිදහස් කරන්නේ ඉන්දියාවට හොඳහිත පෑමක් ලෙස බවය.
කෙසේ නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇමෙරිකාවෙන්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් සහ සෞදියෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් නියමුවා නිදහස් කිරීමට අගමැති ඉම්රාන්ට සිදුවී ඇති බවය.
අභිනන්දන් වර්තමාන් නිදහස ලබා ඉන්දියාවට පැමිණෙන තුරු, ඉන්දු පාකිස්තාන දේශසීමා මාර්ගයක ඉන්දියානුවෝ එක් රොක් වී සිටින බව ද වාර්තා වේ.
මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ, ඉන්දියාව සහ පාකිස්තානය අතර පසුගිය දින කීපය පුරා හටගත් අර්බුදය, මුළු ඉන්දියාවම එකමුතු කිරීමට සමත්වී ඇති බවය.
ඉන්දු පාකිස්තාන අර්බුදය දේශපාලනීකරණය කරමින්, එයින් වාසි ගැනීමට ඉන්දීය අගමැති මෝදි උත්සාහ ගන්නවා යැයි ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කරයි. ඉන්දියාවේ මහ මැතිවරණය අප්‍රේල් සහ මැයි මාසවලදී පැවැත්වෙයි.
ඉන්දීය ගුවන් හමුදාව ඉකුත් 26 වැනිදා පාකිස්තාන ගුවන් සීමාව උල්ලංඝනය කර, පාකිස්තානයට ගොස් පාකිස්තාන ත්‍රස්ත කඳවුරකට පහර දුන්නේය.
පාකිස්තාන ගුවන් හමුදාවට අයත් එෆ් 16 ප්‍රහාරක යානා, ඉන්දීය මිග් යානාවලට පහර දුන්නේ ඉන්පසුවය. සිය යානය විනාශ වී පැරැෂූට් ආධාරයෙන් බිමට පැන්න අභිනන්දන් වර්තමාන් පාකිස්තාන හමුදා අත්අඩංගුවට පත් වූයේ ඒ අනුවය.
මේ අතර පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉන්දියාවට යළිත් වරක් ආරාධනා කර ඇත්තේ සාමය ස්ථාපිත කිරීමට, සාකච්ඡා පැවැත්වීමට කැමැති වන ලෙසය.
(එන්.ඩී.ටීවී.)

