නාසයට ඉසින දියරක් ලෙස කොරෝනා ඔසුවක්
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වළක්වන, නාසයට ඉසින ඖෂධීය දියරයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව, ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පර්යේෂකයන් සහ ‘රිජෙනරොන්’ ජෛව විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි.
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සිරුරට ඇතුළු වෙන්නේ ඇස්වලින්, නාසයෙන් සහ මුඛයෙනි. මුහුණු ආවරණ පැලැඳීමට සෞඛ්‍ය උපදෙස් ලබා දී ඇත්තේ එහෙයිනි.
නාසයෙන් ඇතුළු වන වයිරසය, නාසය තුළත් උගුරේත් පැය කීපයක් රැඳී පවතින අතර, එම කාලයේ දී වයිරස විෂබීජ විනාශ කිරීමට මෙම නාසයට ඉසින ඖෂධීය දියරය සමත් වනු ඇතැයි වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.
මෙම දියරය නිර්මාණය කර ඇත්තේ ‘කොවිඞ් 19’ වයිරසයේ ජානමය ව්‍යුහය පාදක කර ගනිමින්, වයිරසය විනාශ කිරීමටය. ඇමෙරිකානු වෛද්‍ය පර්යේෂකයන් පමණක් නොව, ඕස්ටේ්රලියා වෛද්‍ය පර්යේෂකයන් ද මේ ආකාරයට නාසයට ඉසින දියරයක් නිර්මාණය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.
මේ වනවිට ලොව සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 64,194,692 ක් දක්වා වැඩි වී තිබේ. ලොව සමස්ත කොරෝනා මරණ වාර්තා වන්නේ 1,486,900 ක් ලෙසය. තවමත් ලොව වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.
ඇමෙරිකාවේ ආසාදිතයන් ගණන 14,108,490 කි. මරණ වාර්තා වන්නේ 2,76,976 ක් ලෙසය. ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම විසින් නිපදවා ඇති ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වළක්වන එන්නත නත්තලට කලින් ඇමෙරිකානුවන්ට ලබා දීමට නියමිතය.
‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට මේ වනවිට ඇමෙරිකාවේ ‘මොඩර්නා’ ජෛව තාක්ෂණික සමාගම ද එන්නතක් නිර්මාණය කර ඇත. එය ද ‘ෆයිසර්’ සමාගම නිර්මාණය කළ එන්නත මෙන්ම සාර්ථක බව පැවැසෙයි.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

