නවසීලන්තයේ ත්‍රස්ත ප්‍රහාරයක්



නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයකට කඩා වැදී ප්‍රචණ්ඩකාරීව හැසිරුණු අයකු කළ පිහි ප්‍රහාරයකින් 6 දෙනෙක් තුවාල ලැබූහ.

එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, ප්‍රහාරකයා ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයකු බවත්, 32 හැවිරිදි ඔහු අයි.එස්.අයි.එස්. සංවිධානයෙන් අන්තවාදී අදහස්වලින් පන්නරය ලැබූ තැනැත්තකු බවත් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසුවය.

පිහි ප්‍රහාරය සිදුවූයේ බටහිර ඕක්ලන්ඩ් නුවර 'ලින්මොල්' සුපිරි වෙළඳ සංකීර්ණයේය. ප්‍රහාරයට ලක්වූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඔවුන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.‍

ප්‍රහාරකයාගේ අනන්‍යතාව මාධ්‍ය වෙත අනාවරණය නොකෙරුණු නමුත් අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් කියා සිටියේ නවසීලන්ත ආරක්ෂක අංශ ඔහු ගැන 2016 වසරේ සිට විමසිල්ලෙන් පසුවුණු බවය.

ආරක්ෂක අංශ මෙම තරුණයා ගැන තමා ද මීට පෙර දැනුවත් කර තිබුණු බව අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළාය. මාධ්‍ය හමුවට පොලිස්පති ඇන්ඩෲ කොස්ටර් ද එක් වි සිටියේය.

සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ, ප්‍රහාරකයා හිටිහැටියේ ප්‍රචණ්ඩකාරී වෙමින් දකින දකින සැමට පිහියෙන් අනින්න වූ බවය.

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති බැවින්, 'ලින්මොල්' සුපිරි වෙළඳ සංකීර්ණය තුළ සිටියේ සීමිත පිරිසක් පමණි.

(ඩේලිමේල්)

 


RECOMMEND POSTS