නවසීලන්තයේ ත්‍රස්ත නීති දැඩි කෙරේ



ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයකට එල්ල වුණු පිහි ප්‍රහාරයෙන් පසු නවසීලන්තයේ ත්‍රස්තවාදී සැකකරුවන් සම්බන්ධයෙන් පවතින නීති දැඩි කිරීමටත්, නව නීති හඳුන්වා දීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන් පවසයි‍ෙ

පසුගිය 3 වැනිදා ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයට කඩා වැදී එහි සිටි පිරිස් වෙත පිහි ප්‍රහාරයක් එල්ල කළේ අයි.එස්. මතධාරී ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයෙකි.

නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය හෝ ආරක්ෂක අංශ හෝ එම තරුණයාගේ අනන්‍යතාව මාධ්‍ය වෙත අනාවරණය නොකළ අතර, ඔහු 32 හැවිරිදි අයකු බවත් ආරක්ෂක අංශ ඔහු 'එස්' යන නමින් පමණක් හඳුන්වන බවත්, තරුණයා නවසීලන්තයට සංක්‍රමණය වී ඇත්තේ 2011 වසරේදී යැයි නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය.

මෙරට ආරක්ෂක අංශ මේ වනවිට අනාවරණය කර ඇති අන්දමට, ප්‍රහාරය එල්ල කළ තැනැත්තා එම්. සම්සුදීන් (මොහොමඩ් සම්සුදීන්) නමැති මඩකලපුවේ කාන්තන්කුඩි ප්‍රදේශයේ උපන් අයෙකි.

කාත්තන්කුඩි පාසලකින් මුලික අධ්‍යාපනය ලැබු එම්. සම්සුදීන්, කොළඹ ප්‍රධාන පෙළේ පාසලකින් උසස් අධ්‍යාපනය ලැබූවෙකි. 1990 දී පියා සමග මොහු මරදානේ පදිංචියට පැමිණ බව ද පැවැසෙයි.

සිකුරාදා (3) එල්ල වූ පිහි ප්‍රහාරවට ලක් වීමෙන් 7 දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ මතවාද කෙරෙහි තදින් බැදී සිටි අයකු බව නවසීලන්ත බුද්ධි අංශ තරුණයා හඳුනා ගෙන සිටි බැවින් 2016 වසරේ සිට විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහු ගැන විමසිල්ලෙන් පසුවුනු බව අනාවරණය විය.   

සුපිරි වෙ‍ෙළඳ සංකීර්ණයට ඇතුළු වී එහි විකිණීමට තිබූ පිහියක් ගෙන තරුණයා ප්‍රහාරය එල්ල කිරීමට පටන් ගත් නමුත් තත්ත්පර 60 ත් 90 අතර කෙටි කාලයක් තුළ ඔහු පසුපසින් ආ පොලිස් කණ්ඩායම ඔහු යටත් කර ගැනීමට උත්සාහ දැරූ බව පැවැසෙයි.

යටත් වීම ප්‍රතික්ෂේප කළ බැවින් පොලිසිය තරුණායට වෙඩි තැබූ අතර, එයින් ඔහු ජීවිතක්ෂයට පත්විය. අයි.එස්.අයි.එස්. මත දරණ අන්තවාදියකු ලෙස හඳුනා ගෙන සිටියත්, නවසීලන්තයේ ත්‍රස්ත මර්දන නීති අනුව තරුණයා අත්අඩංගුවට ගැනීමට හෝ බන්ධනාගාරගත කිරීමට හෝ නොහැකි වුණු බවත්, කළ හැකි වූයේ ඔහු ගැන විමසිල්ලෙන් පසුවීම පමණක් බවත් පොලිසිය පවසා ඇත.

ත්‍රස්තවාදී සැකකරුවන් සම්බන්ධයෙන් පවතින නීති දැඩි කිරීමටත්, නව නීති හඳුන්වා දීමටත් අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන් තීරණය කර ඇත්තේ මේ නිසාය.

නව නීති සකස් කිරීම සහ පවතින නීති සංශෝධනය මෙම මස අවසන් වීමට පෙර සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍යවරිය විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළාය.

'මා පොරොන්දු වෙනවා පාර්ලිමේන්තුව නැවත ආරම්භ වූ විගස එම වැඩ කටයුතු අවසන් කරන්න. හැකි ඉක්මනින් නව නීති සකස් කිරීමත් ඒවා සම්මත කිරීමත් සිදුවේවි. පවතින නීති සංශෝධනය වේවි.' යැයි අග්‍රාමාත්‍යවරිය පවසා ඇත.

(නවසීලන්ත පුවත් සේවා)


RECOMMEND POSTS