නවසීලන්ත මහ මැතිවරණය කල්යයි

ඕක්ලන්ඞ් නුවර කොරෝනා ආසාදිතයන් ගණන ඉහළ යෑමත් සමඟ සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කල් දැමීමට නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් තීරණය කළාය.
මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ සැප්තැම්බර් 19 වැනිදාය. අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මහ මැතිවරණය මාසයකින් කල් දමන බවත්, එය කෙසේ හෝ ඔක්තෝබර් 17 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බවත්ය.
මැතිවරණ කටයුතු ආරක්ෂිතව පැවැත්වීම සම්බන්ධයෙන්, මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා පවත්වන බව ද අගමැතිනිය පෙන්වා දුන්නාය. කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ පනවා ඇති තහංචි හේතුවෙන් තමන්ට අවශ්‍ය පරිදි මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට නොහැකි වූ බවත්, මැතිවරණය තවත් ප්‍රමාද කරන ලෙසත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් රජයට පවසා තිබේ.
කෙසේ නමුත් අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් අවධාරණය කළේ මැතිවරණය නිසැක වශයෙන්ම ඔක්තෝබර් 17 වැනිදා පැවැත්වෙනු ඇති බවය.
නවසීලන්තය, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඉතා සාර්ථක අයුරින් මර්දනය කළ රටකි. නවසීලන්ත අගමැතිනිය ප්රමුඛ රජය සහ සෞඛ්‍ය අංශ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පැසැසුමට ලක් විය.
කෙසේ නමුත් ඉකුත් සතියේ, නවසීලන්තයේ වැඩිම ජනගහනයක් ද වෙසෙන ඕක්ලන්ඞ් නුවරින් ආසාදිතයන් වාර්තා වීමට පටන් ගැණින. දින 102 කට පසු නවසීලන්ත සමාජයෙන් ආසාදිතයන් හමුවූ පළමු අවස්ථාව මෙය විය.
එකම පවුලේ සිවුදෙනකු ට වයිරසය ආසාදනව වී ඇති බව හඳුනා ගැණුනු අතර, ඔවුන්ට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි යන්න සොයා ගැනීමට නවසීලන්ත සෞඛ්‍ය බලධාරීහු අපොහොසත් වූහ.
ඒ අනුව, ඕක්ලන්ඞ් නුවර ලොක්ඩවුන් කළ අතර, ඕක්ලන්ඞ් වැසියන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.
ඕක්ලන්ඞ් නුවරින් ආසාදිතයන් 49 දෙනකුගේ පොකුරක් හමුවුණු අතර, මහ මැතිවරණය මාසයකින් කල් දැමීම කෙරෙහි අගමැතිනියගේ අවධානය යොමු විය. මේ වනවිට නවසීලන්තයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 1,622 කි. මරණ වාර්තා වන්නේ 22 ක් ලෙසය.
වෙලින්ටන්හිදීය (රොයිටර්)

