නවසීලන්ත අගමැතිනිය මැතිවරණ රැලි අරඹයි



නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන් සහ ඇගේ කම්කරු පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (11) ආරම්භ විය. නවසීලන්ත මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලබන 17 වැනිදාය.

ඔක්ලන්ඩ් නුවර කේන්ද්‍රකොට ගනිමින් ඇරැඹුණු කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල ද ඉතා සාර්ථකව මර්දනය කිරීමට නවසීලන්තය සමත් විය. ඒ, අග්‍රාමාත්‍යවරිය සහ සෞඛ්‍ය අංශ එක්වී ගෙන ගිය කොරෝනා මර්දන වැඩපිළිවෙළ හේතුවෙනි.

කොරෝනා ව්‍යාප්තිය සාර්ථක ලෙස මර්දනය කිරීමට තම රජයට හැකියාව ලැබුණේ නවසීලන්ත වැසියන්, සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සහ නිර්දේශ පිළිපැඳීම නිසා යැයි ඊයේ දිනයේ වෙලින්ටන් නුවර ජන රැලියකට සහභාගී වෙමින් 40 හැවිරිදි අගමැතිනිය පැහැදිලි කළාය. ජැසෙන්ඩා එර්ඩන් නවසීලන්තයේ අගමැති ධුරයට පත් වූයේ 2017 වසරේ පැවැති මැතිවරණයෙන් පසු, ඇගේ කම්කරු පක්ෂය මැදිහත් වී සනක්දාන රජයක් පිහිටුවීමෙනි.

නවසීලන්තයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 1,154 ක් වන අතර මරණ වාර්තා වන්නේ 5 ක් ලෙසිණි. නවසීලන්තයේ ජනගහනය මිලියන 5 කි. තමන් ප්‍රමුඛ තම රජය කඩිනමින් නිරෝධායන නීති ක්‍රියාවට නංවා, ලොක්ඩවුන් සීමා පැනවීම මගින් වයිරස ව්‍යාප්තිය නවත්වා ගැනීමට හැකිවුණැයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.

කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය සහ වයිරසය මර්දනය කිරීමට අග්‍රාමාත්‍යවරිය සමත් වීම හේතුවෙන් ඇගේ කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. නවසීලන්ත දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, එලැඹෙන මහ මැතිවරණයෙන් ජැසෙන්ඩාගේ කම්කරු පක්ෂයට තනිව රජයක් පිහිටුවීමට බහුතර බලය හිමිවනු ඇති බවය.

61 හැවිරිදි කොලින්ස්

නවසීලන්තයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ නවසීලන්ත ජාතික පක්ෂයයි. අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන්ට අභියෝග කිරීමට ජාතික පක්ෂය නව නායිකාවක තෝරා ගෙන ඇත. ඇය ජූඩිත් කොලින්ස්ය. 61 හැවිරිදි කොලින්ස් පක්ෂ නායකත්වයට තෝරා ගැනුනේ පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමකින් පසුවය. ඒ, පක්ෂයේ නායකත්වය දැරූ ටොඩ් මිලර්ගේ ඉවත්වීමත් සමගය.

වෙලින්ටන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS