නවසීලන්ත අගමැතිනියට කොරෝනා



නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා අඩර්න් 'කොවිඩ් 19' ආසාදිතයකු බවත්, ඇගේ රෝගී තත්ත්වය බරපතල නොවන බවත් පැවැසෙයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ 41 හැවිරිදි අග්‍රාමාත්‍යවරිය දින 7 ක්, එනම් ලබන මැයි 21 තෙක් නිරෝධායනයේ පසුවන බවත් ඇය නිරෝධායනයේ සිට ඇයට කළ හැකි අයුරින් ඇගේ රාජකාරි කටයුතු කරනු ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩි දුරටත් පවසා ඇත.

ජැසෙන්ඩා අඩර්න්, 'කොවිඩ් 19' ආසාදිතයකු බවට පත් වූයේ ඇගේ සහකරු ක්ලාක් ගේෆර්ඩ් සහ අවුරුදු 3 ක් වයසැති දියණිය 'කොවිඩ් 19' ආසාදිතයන් යැයි තහවුරු වී දින තුනක් ගතවෙද්දීය. අගමැතිනියගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ පසුගිය සිකුරාදා (13) සවසය. ඒ අනුව, ඇය වහා 'කොවිඩ් 19' පරීක්ෂණයකට යොමු කෙරුණි.

අද දිනයේ සහ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන ලබන 19 වැනිදා ද පාර්ලිමේන්තුවට සහභාගී වීමට අගමැතිනියට අවස්ථාවක් නොලැබෙයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සියල්ල නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ග්‍රාන්ට් රොබර්ට්සන්ට පැවැරෙනු ඇත. සියලු මාධ්‍ය නිවේදන මාධ්‍ය හමුවේ නිකුත් කරනු ඇත්තේ ද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාය.

'රජයට වැදගත් වන, පාර්ලිමේන්තුවේ විශේෂ සිදුවීම් කීපයක් මේ සතියේ සිදුවෙනවා. ඒත් අවාසනාවකට මට ඒවාට සහභාගී වෙන්න ලැබෙන්නේ නැහැ. නවසීලන්ත වැසියන් බොහොමයක් මෙන්ම මටත් ද කොවිඩ් 19 වයිරසයට මුහුණ දීමට සිදුවුණා. මමත් මගේ පවුලේ අයත් නිරෝධායනය වීමට සිදුවුණා. අග්‍රාමාත්‍යවරිය කියා මට විශේෂයක් නැහැ' යැයි වීඩියෝ පණිවුඩයක් හරහා අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා අඩර්න් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර තිබේ.

නවසීලන්තයේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය වේගයෙන් සිදුවෙයි. කෙසේ නමුත් නවසීලන්තයේ ව්‍යාප්ත වන්නේ ඔමික්‍රොන් විකෘතිය වීමත්, එරට බොහෝ දෙනකු ප්‍රතකිශක්තිකරණ එන්නත් ලබාගෙන තිබීමත් නිසා වයිරසයේ බලපෑම අවමය. මේ නිසා සෞඛ්‍ය උපදෙස් මත රට අදියර කීපයක් යටතේ විදේශිකයන්ට ද විවෘත කර තිබේ. අගෝස්තු පළමු වැනිදා සිට නවසීලන්තය මුළුමනින්ම ලොවට විවෘත කරන බව ද අඩර්න් පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS