නව ‘කොවිඩ් 19’ ප්‍රභේදයක්: වෛද්‍යවරු බියෙන්



නව ‘කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මහා බ්‍රිතාන්‍යයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

මෙම නව ‘කොවිඩ් 19’ වයිරස ප්‍රභේදය ගැන බිය පළ කරමින් ඒ ගැන විමසිලිමත් වෙන්නැයි අනතුරු අගවා ඇත්තේ, මහා බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ ආරක්ෂක ආයතනයයි.

බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් මෙම නව ප්‍රභේදය නම් කර ඇත්තේ ඊජී.5.1 හෙවත් ‘ඒරිස්’ යන නමිනි. මෙය ‘කොවිඩ් 19‘ ඔමික්‍රෝන් වයිරසයේ උප ප්‍රභේදයකි.

එක්සත් රාජධානියේ, ‘ඒරිස්’ වයිරස ව්‍යාප්තිය ගැන තමන් ද විමසිල්ලෙන් පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘කොවිඩ් 19’ වයිරසය ලොව කැලැඹුවේ 2019 වසර අවසානයේය. වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසයේ සුලමුල තවමත් අනාවරණය වී නැත.

කඩිනමින් ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම සහ සාර්ථක එන්නත්කරණය හේතුවෙන් ගෝලීය වශයෙන් වයිරස ව්‍යාප්තිය පාලනය වූ අතර, වයිරසයේ සැර කෙමෙන් බාල විය. ‘ඔමික්‍රෝන්’ යනු එසේ සැර බාල වුණු ‘කොවිඩ් 19’ ප්‍රභේදයයි.

නව ප්‍රභේද ලෙස හඳුනා ගැනෙන්නේ ‘ඔමික්‍රෝන්’ ප්‍රභේදයේ විකෘතිකරණයට ලක්වුණු උප ප්‍රභේද යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.


RECOMMEND POSTS