නයිජර් ජනපතිට දේශද්‍රෝහී චෝදනා



ධුරයෙන් නෙරපා අත්අඩංගුවට ගැණුනු නයිජර් ජනාධිපති මොහොමඞ් බාසූම්ට දේශද්‍රෝහී චෝදනා යටතේ නඩු පැවැරීමට බලාපොරොත්තු වන බව එරට බලය අල්ලා ගත් හමුදා පාලකයෝ පවසති.

නයිජර් යනු අතීතයේ ප්‍රංශ යටත් විජිතයකි. නයිජර් අයත් වන්නේ බටහිර අප්‍රිකාවටය. ජනාධිපති මොහොමඩ් බාසූම් අත්අඩංගුවට ගනිමින් හමුදාව රටේ බලය අල්ලා ගත්තේ පසුගිය ජූලි 26 වැනිදාය. නයිජර් ප්‍රජාතන්ත්‍රවාදී - සමාජවාදී පක්ෂයට නායකත්වය දෙන බාසූම් අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි. 1995 සිට 96 දක්වා කාලයේ ඔහු විදේශ අමාත්‍ය ධුරය ද හොබවා තිබේ.

බාසූම්ගේ ජනාධිපති ධුරය ආරම්භ වූයේ 2021 අප්‍රේල් 2 වැනිදාය. ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල සහාය ඔහුට හිමිවෙයි. නයිජර් රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙහිලා ඉතා වැදගත් වැඩ කොටසක් කළ තැනැත්තකු ලෙස බාසූම් සැලකෙයි.

ඇමෙරිකාව ප්‍රංශය ඇතුළු බටහිර රටවල් පමණක් නොව, ‘බටහිර අප්‍රිකා කලාපයේ ආර්ථික හවුල’ ද පවසා ඇත්තේ හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් හමුදා පාලකයන්ට සම්බාධක පැනවීමට පියවර ගන්නා බවය. ‘බටහිර අප්‍රිකා කලාපයේ ආර්ථික හවුල’ යනු බටහිර අප්‍රිකා රටවල එකමුතුවෙන් පිහිටුවාගත් සන්ධානයකි.


RECOMMEND POSTS