නත්තල් සීයා තෑගි එක්ක කොරෝනා බෙදලා
සුබ නත්තලක් කියමින්, පොඩිත්තන්ට තෑගි සමඟ කොරෝනා බෙදූ නත්තල් සීයා කෙනකු ගැන ඇමෙරිකාවේ ජෝර්ජියා ජනපදයේ, ලෝන්ග් කවුන්ටි ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
මෙම නත්තල් සීයා මීට දින කීපයකට පෙර, ලෝන්ග් කවුන්ටි ප්‍රාන්තයේ, ලුඩ්වික් නුවර, සුපිරි වෙළෙඳ සංකීර්ණයකදී, සුබ නත්තලක් කියමින්, දවස පුරා පොඩිත්තන් සුරතල් කරමින් තෑගි බෙදා දී තිබේ.
නත්තල් සීයා ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ ඉන් දින දෙකකට පසුවය. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, ඔහු දරුවන්ට තෑගි බෙදා දෙද්දී රෝග ලක්ෂණ නොපෙන්නූ ආසාදිතයකු වන්නට ඇති බවය.
ඒ අනුව, නත්තල් සීමා සමඟ සුරතල් වෙමින් තෑගි ලබා ගත් දරුවන් 50 දෙනකු මේ වනවිට හඳුනාගෙන ඇති බවත්, ඔවුන් ගැන විමසිල්ලෙන් පසුවන මෙන් සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී ඇති බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.
මේ අතර උත්සව සමයේ කොරෝනා ව්‍යාප්තිය වැඩි විය හැකි බැවින් සංචරණ සීමා අඩු කරන ලෙසත්, සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසත් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වී සිටින ජෝ බයිඩන් ඇමෙරිකන් වැසියන්ගෙන් ඉල්ලා ඇත.
‘අප සියලු දෙනා සෞඛ්‍ය උපදෙස් පිළිපැඳිය යුතුයි. විශේෂයෙන් එලැඹෙන නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමයේ. මුඛ ආවරණ පැලඳීම සමාජ දුරස්ථභාවය රැක ගැනීම අප කළ යුතුයි. අත්‍යාවශ්‍ය රාජකාරියක් නැතිනම් නිවසින් පිට වෙන්න එපා. වසංගත රෝග වැලැක්වීමේ විද්‍යායතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුචි වැනි විශේෂඥයන්ගේ උපදෙස් සැමවිටම පිළිපඳින්න’ යැයි බයිඩන් ඇමෙරිකන් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
ඇමෙරිකානුවන්ට මේ වනවිට ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ යන සමාගම් නිපදවා ඇති කොරෝනා වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සිදු කෙරේ. ජෝ බයිඩන් මෙන්ම, වසංගත රෝග වැලැක්වීමේ විද්‍යායතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුචි ද එන්නත් ලබා ගෙන ඇත්තේ ඒවා ලබා ගැනීම ආරක්ෂිත බව ඇමෙරිකානුවන්ට පවසමිනි.
ලුඩෝවිසිහිදීය (ඒ.එෆ්.පී.)

