ධවල මන්දිරයට ඇරැයුමක්

කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ රුසියාව අතර අර්බුදකාරී තත්ත්වයක් පවතිද්දී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ධවල මන්දිරයට පැමිණෙන්නැයි ඇරැයුම් කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඇමෙරිකා ජනාධිපතිවරයා, රුසියානු ජනාධිපති පුටින්ට ඇරැයුම් කර ඇත්තේ පසුගිය 20 වැනිදා, ට්රම්ප් පුටින්ට දුරකතන ඇමැතුමක් ලබා දුන් අවස්ථාවේදීය.
පුටින් රුසියාවේ පැවැති ජනාධිපතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් හිමිකර ගත්තේය. ට්රම්ප් පසුගිය 20 වැනිදා, පුටින්ට දුරකතන ඇමැතුමක් දුන්නේ සුබ පැතීමටය.
ට්රම්ප් පරිපාලනයේ බොහෝ දෙනා පමණක් නොව, ඇමෙරිකා ආරක්ෂක අංශ ප්රධානීන් පවා ට්රම්ප් පුටින්ට සුබ පැතීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබුණු බව පසුව වාර්තා විය.
තමන් පුටින්ට දුරකතනයෙන් කතා කරමින් සුබ පැතූ බවත්, තමා සහ පුටින් අතරේ හමුවක් නුදුරු අනාගතයේ දිනක සිදුවනු ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ට්රම්ප් එම අවස්ථාවේදී කියා තිබුණි.
(රොයිටර්)

