දේශසීමා වසා දමයි



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ පියවරක් ලෙස දේශසීමා වසා දැමීමට රටවල් රැසක් තීරණය කර තිබේ.

අග්නිදිග ආසියානු කලාපයේ වැඩිම කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ මැලේසියාවෙනි. අද (18) වනවිට මැලේසියාවෙන් හමුවුණු ආසාදිතයන් ගණන 673 කි. මැලේසියානු රජය සති දෙකක කාලයක් එරට වසා දැමීමට තීරණය කර ඇත. ඒ අනුව, සිංගප්පූරුව සමඟ ඇති දේශසීමා පිවිසුම ද වසා දමන බව පවසා තිබේ.

ඇමෙරිකාවේ ජනපද 50 පුරා වයිරසය ව්‍යාප්තවීමත් සමඟ ඇමෙරිකා කැනඩා දේශසීමා වසා දැමීම සිදුවිය.

ලතින් ඇමෙරිකා රටවලින් හමුවී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 150 ඉක්මවා තිබේ. ලතින් ඇමෙරිකාවේ වැඩියෙන්ම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත්තේ චිලී රටෙනි.
චිලී රට සමඟ සම්බන්ධ සියලු දේශසීමා වසා දැමීමට, චිලී ජනාධිපති සෙබෙස්තියන් පිනේරා ඊයේ (17) තීරණය කළේය. සෙසු ලතින් ඇමෙරිකා රටවල් වන වෙනිසියුලාව, පේරු යන රටවල් දීපව්‍යාප්ත මට්ටමින් නිරෝධායන වැඩසටහන් ආරම්භ කර තිබේ.

යුරෝපා සංගමයේ උපදෙස් පරිදි, යුරෝපා රටවල් සියල්ල මේ වනවිට වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා එම රටවල දේශසීමා වසා දමා ඇත. ඒ දින 30 ක් සඳහා ය. යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල් ගණන 27 කි. දේශසීමා වසා දැමීමෙන් මිලියන 445 ක පිරිසක් දැඩි අපහසුතාවට පත්වී ඇතැයි වාර්තා වේ.

‘කෝවිඞ් 19’ වයිරසයෙන් දරුණු බලපෑම් එල්ල වී ඇත්තේ ඉතාලියට ය. ඉතාලියේ මරණ සංඛ්‍යාව 2,500 පසු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති අන්දමට ‘කෝවිඞ් 19’ වයිරසයේ අපිකේන්ද්‍රය බවට පත්ව ඇත්තේ යුරෝපයයි.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS