දේශපාලනය කළා ඇති: විශ්‍රාම යන්න වෙලාව ඇවිත්



ලොව ළාබාතම අග්‍රාමාත්‍යවරයා ලෙස ලෝක වර්තාවක් ද තබමින්, නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ජැසෙන්ඩා එර්ඩර්න් දේශපාලනයෙන් සමුගෙන විශ්‍රාම යෑමට සූදානම් බව ඊයේ (19) නිවේදනය කළාය.

අග්‍රාමාත්‍යවරිය මෙසේ ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීම බොහෝ දෙනාගේ මවිතයට හේතුවක් වූ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 2017 වසරේ, ලොව ළාබාතම අග්‍රාමාත්‍යවරයා ලෙස ජැසෙන්ඩා නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙද්දී ඇගේ වයස අවුරුදු 38 කි.

මේ වනවිට 42 හැවිරිදි ජැසෙන්ඩා එක් දරු මවකි. ඇගේ සහකරු ක්ලාක් ගේෆෝඞ්ය. දෙදෙනා විවාහ වීමට නියමිතව සිටියේ පසුගිය 2022 වසරේදීය. කෙසේ නමුත් ‘කොවිඞ් 19’ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පැනවූ සීමා ඊට එරෙහි විය. ජැසෙන්ඩා සහ ගේෆෝඞ්ගේ දියණියගේ වයස අවුරුදු 4 කි.

‘ඇති හොඳටම ඇති. මට වෙහෙසයි. මා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කළා.’ යැයි අග්‍රාමාත්‍යවරිය ඊයේ (19) නිවේදනය කළේ ඇගේ කම්කරු පක්ෂ සාමාජිකයන් සමඟ හමුවක් පවත්වමිනි. නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ධුරය හිමි වන්නේ පාලක පක්ෂයේ නායකයා හෝ නායිකාවටය.

2017 වසරේ දී මහ මැතිවරණයේ දී කම්කරු පක්ෂයට නායකත්වය දෙමින් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට ජැසෙන්ඩා ට හැකි විය. ඇයට අග්‍රාමාත්‍ය ධුරය හිමි වූයේ ඒ අනුවය. එයින් වසර තුනකුට පසු පැවැති මහ මැතිවරණයේ දී බහුතර බලයකින් කම්කරු පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යෑම ද ජැසෙන්ඩා ට හැකිවිය.

නවසීලන්තයේ මීළඟ මහ මැතිවරණය මෙම ඔක්තෝබර් මස 14 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, තමන් ලබන පෙබරවාරි 7 වැනිදාට පෙර, පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉවත් වන බවත් ජැසෙන්ඩා පැහැදිලි කළාය. ඒ අනුව, මෙම ජනවාරි 22 වැනිදා වනවිට කම්කරු පක්ෂය සඳහා නව නායකයකු පත් කර ගැනීම සිදුවනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පැවැසුවාය.

(රොයිටර්)


RECOMMEND POSTS