දිනක් ඇතුළත ආසාදිතයන් 500,000ක්



‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිර යෑමට පටන් ගැනීමෙන් පසු දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන බදාදා (28) දිනයේදී වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව බදාදා දිනයේදී ලොව නන්දෙසින් වාර්තා වී ඇතැයි වයිරස ආසාදිතයන්ගේ ගණන 500,000 ඉක්මවා ගොස් ඇති අතර දෛනික නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 500,000 ඉක්මවූ පළමු අවස්ථාව ද මෙය වේ.

සති දෙකකටත් අඩු කාලයක් තුළ ලොව නන්දෙසින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන සියයට 25කින් වැඩි වී තිබෙන අතර ලොව රටවලින් දිනක් ඇතුළත වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන පසුගිය සතියේ සිකුරාදා පළමු වරට 400,000 ඉක්මවා ගියේය.

පසුගිය සති කිහිපයේදී බටහිර රටවල් සහ ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තා විය.

ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (30) පස්වරු වනවිට මිලියන 44.7ක් වූ අතර වයිරස ආසාදිත මරණ ගණන මිලියන 1.17ක් විය.

ගෝලීයව මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණනින් සියයට 66ක් වාර්තා වන්නේ යුරෝපා, උතුරු ඇමෙරිකානු හා ලතින් ඇමෙරිකානු කලාපවලිනි. ගෝලීය වයිරස ආසාදිත මරණ ගණනින් සියයට 76ක් වාර්තා වන්නේ ද එම කලාපවලිනි.

පසුගිය සති දෙකක කාලයේදී යුරෝපයෙන් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී තිබෙන අතර පළමු වරට බදාදා දිනයේදී වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 250,000 ඉක්මවා ගියේය.

යුරෝපා කලාපයෙන් අද වනවිට වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 9.5ක් වූ අතර මරණ ගණන 261,000ක් විය.

රොයිටර්


RECOMMEND POSTS