දින 3 ක් ළිදේ සිරවෙලා



මොරොක්කෝවේ ගම්මානයක නළ ළිං කුහරයක් තුළ දින තුනක් තිස්සේ සිරවී සිටින පස් හැවිරිදි දරුවකු බේරා ගැනීමට මොරොක්කෝ ආරක්ෂක අංශ මැදිහත් වී විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට, මොරොක්කෝවේ ෂෙෆ්ෂාව්වින් නගරයේ සිට කිලෝ මීටර් 100 ක් පමණ දුරින් පිහිටි ටමෝරොට් නමැති කුඩා නගරයේ පදිංචි රයාන් නමැති මේ දරුවා ළිං කුහරයට වැටී ඇත්තේ මිතුරන් සමඟ ඒ අසල සෙල්ලම් කරමින් සිටිද්දීය.

රයාන් මේ වනවිට අඳුරු ළිං කුහරයේ මීටර් 32 ක් (අඩි 100ක්) ගැඹුරේ සිරවී සිටින බව පැවැසෙයි. ළිං කුහරයේ විෂ්කම්භය සෙන්ටි මීටර් 45 කි.

රයාන් මෙම අකරතැබ්බට මුහුණ දුන්නේ පසුගිය පළමු වැනිදාය. සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රසිද්ධියක් ලැබෙද්දී මොරොක්කෝ රජයේ අවධානය ඊට යොමු විය.

දරුවා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ටමෝරොට් නගර වැසියන්ගේ සහායට සහන සේවකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් යෙදවීම සිදුවූයේ ඒ අනුවය.

දරුවා කඩිනමින් බේරා ගැනීමට හැකි සෑම දෙයක්ම කරන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක මුස්තාපා බයිටාස් පවසා මාධ්‍ය හමුවේ පවසා ඇත. රයාන් බේරා ගැනීමේ මෙහෙයුම් මේ වනවිට විදෙස් මාධ්‍යවල ද අවධානය දිනා ගෙන ඇති බවත්, විදේශවලින් මොරොක්කෝ රජයට ලොකු පීඩනයක් එල්ල වෙමින් පවතින බවත් අසන්න ලැබේ.

ආරක්ෂක අංශ, විශේෂ කැණීම් කණ්ඩායමක් යොදවා ළිං කුහරයට සමාන්තරව කැණීම් සිදු කර රයාන් මුදා ගැනීමට අපේක්ෂා කරයි.  මේ වනවිට ඔවුන් මීටර් 27 ක් ගැඹුරට කැණීම් කර තිබුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කැණීම් කළ යුතුව ඇත්තේ ඉතා සෙමින්ය. ඒ රයාන් සිටින ළිං කුහරය පස්වලින් වැසී යෑමේ අවදානමක් පවතින බැවිනි.

රයාන් බේරා ගැනීමේ මෙහෙයුම් නැරැඹීමට දහස් ගණනක් මොරොක්කෝ වැසියන් ටමෝරොට් නගරයට එක්රොක්වී සිටින බවත් දෙස් විදෙස් මාධ්‍යවේදීන් ද කැමරා අවටාගෙන සිටින බවත් වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS