ද්වීපාර්ශ්වීක හමුව සාර්ථකයි



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සැලෙන්ස්කි අතරමුහුණට මුහුණ හමුවක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ ජර්මන් චාන්සල්වරිය වන ඇන්ජෙලා මේකල්ගේ මැදිහත් වීමෙනි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුටින් සහ සෙලෙන්ස්කි අතර මුහුණට මුහුණ පැවැති හමුව, ඓතිහාසික හමුවක් යැයි විදෙස් පුවත් සේවා හඳුන්වා දී තිබුණි. නායකයෝ දෙදෙනා දෙරට අතර පවතින එදිරිවාදිකම් පිටුදැකීම සම්බන්ධයෙන් පැය 9 ක් සාකච්ඡා පැවැත්වූහ. සාකච්ඡා මේසයට මැදහත්කරුවන් වන ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ජර්මන් චාන්සල්වරිය ද පැමිණ සිටියහ.

නැගෙනහිර යුක්රේනය මුල්කොට ගනිමින් රුසියාවත් යුක්රේනයත් අතර අර්බුදයක් පවතී. එම අර්බුදය පවතින්නේ නිරවි යුද සමයේ පටන්ය. ඊට හේතුව, යුක්රේනය රුසියාවට වඩා බටහිර රටවලට සමීප වීමය.

මීට වසර 5 1/2 කට පෙර, නැගෙනහිර යුක්රේනය සම්බන්ධයෙන් රුසියාවත් යුක්රේනයත් අතර අර්බුදය උත්සන්න විය. යුක්රේන හමුදා සහ රුසියානු රජයේ සහාය ලබන සන්නද්ධ කල්ලි අතරේ සටන් ඇවිළිණි. රුසියාව යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය බලෙන් අල්ලා ගත්තේ, ක්‍රිමියා වැසියන් අතරේ ජනමත විමසුමක් පවත්වමිනි. ඒ, යුක්රේන රජය සමඟ සිටිනවා ද නැතිනම් රුසියාවේ පාලනයට නතු වෙනවා දැයි විමසමිනි. අද වනවිටත් ක්‍රිමියාව රුසියාවේ පාලනයට නතුව පවතී.

නැගෙනහිර යුක්රේනය සම්බන්ධයෙන් හටගත් අර්බුදය මුල්කොට ගනිමින් සම්පූර්ණ සටන් විරාමයක් ආරම්භ කිරීමට, පුටින් සහ සැලෙන්ස්කි එකඟත්වය පළ කළහ. ඊට අමතරව, දෙරට අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ද එකඟත්වයක් ඇති කර ගැණින.

පැරිසියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS