දවස් 5 ක් අල්ලන් හිටියොත් පුටින් පරදිනවා



කියේව් අගනුවර රුසියන් හමුදා අතට පත්වීමට ඉඩ නොදී තවත් දින පහක් අල්ලා ගෙන සිටීමට යුක්රේන හමුදා සමත් වුවහොත්, රුසියන් හමුදා පසුබසිනු ඇති බවත්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට පරාජය බාර ගැනීමට සිදුවුනු ඇති බවත් එස්තෝනියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය රිහෝ ටෙරාස් පෙන්වා දෙයි.

එස්තෝනියාව යුරෝපා රටක් මෙන්ම ‘නෝටෝ’ සාමාජිකයෙකු ද වෙයි. ඊට අමතරව, එස්තෝනියව යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයෙකි. හිටපු ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ අදහස් ඉදිරිපත් කළේ රුසියානු යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එරට ජාතික රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමිණි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය ආරම්භ කළේ පසුගිය 24 වැනිදාය. අද (28) රුසියන් යුක්රේන යුද්ධයේ පස්වැනි දිනයයි.

යුක්රේනයට ඓරහිව හමුදා මෙහෙයවීම සම්බන්ධයෙන්, ඇමෙරිකාව, යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවල් රුසියාවට ආර්ථික වශයෙන් සම්බාධක පනවා තිබේ. සම්බාධක පැනැවීම කර ඇත්තේ රුසියන් බැංකු සහ ව්‍යාපාරිකයන් ඉලක්ක කර ගනිමිනි.

රුසියන් ජනාධිපති පුටින් සහ රුසියන් හමුදා ප්‍රධානීන්ගේ සැලැසුම වී ඇත්තේ දින 4 ක් ඇතුළත යුක්රේනය මුළුමිනන්ම අල්ලා ගැනීමටය. කෙසේ නමුත්, යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙස්කී නිර්භීත ලෙස රුසියාවට මුහුණ දීමත්, යුක්රේන හමුදාව රුසියන් හමුදාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් නිසා රුසියන් හමුදාවට තවමත් කියෙව් අගනුවර අත්පත් කර ගැනීමට නොහැකි වී ඇත.

යුක්රේනය සමග යුද වැදීමට රුසියාවට  දිනකට වැයවන මුදල යුරෝ බිලියන 15 කි. බටහිර රටවල් රුසියාව ඉලක්ක කර ගනිමින් පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් රුසියාව ආර්ථික  අර්බුදයකට මුහුණ දෙනු ඇති බවත්, ඒ අනුව, තව දුරටත් යුද වැදීමට පුටින්ට කළ නොහැකි වනු ඇති බවත් රිහෝ ටෙරාස් පැහැදිලි කර තිබේ.

(ඩේලිමේල්)


RECOMMEND POSTS