දකුණු කොරියාවේ ළැව් ගිනි පැතිරේ

දකුණු කොරියාවේ ඊසානදිග කඳුකර ප්රදේශයේ පැතිරෙන ළැව් ගිනි පාලනය කිරීමට ගිනි නිවන භටයන්ට හැකියාව ලැබී නැති බවත්, ළැව් ගිනි හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කිරීමට දකුණු කොරියානු රජය පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.
ළැව් ගිනි පැතිර යද්දී අනාරක්ෂිත ප්රාදේශවල ජීවත් වන 4,000 කට වැඩි පිරිසක් එම ප්රදේශයෙන් ඉවත් කිරීමට බලධාරීහු පියවර ගත්හ. ළැව් ගිනි පැතිර යන කඳුකර ප්රදේශය පිහිටා ඇත්තේ උතුරු කොරියානු දේශසීමාව ආසන්නයේය. පවතින වියළි කාලගුණය සහ සුළං හේතුවෙන් ළැව් ගිනි උතුරු කොරියාවට පැතිර යෑමේ අවදානමක් ඇති බවට බිය පළ කෙරේ.
ගිනි නිවන භටයන්ගේ සහායට හමුදාව යෙදවීමට දකුණු කොරියානු රජය පියවර ගෙන ඇත. ළැව් ගිනිවලින් සොක්චෝ සහ ගැංග්නුන්ග් යන නගරවලට ද බලපෑම් එල්ල වී ඇති බව පැවැසෙයි. නිවාස සහ ගොඩනැගිලි පමණක් නොව, මාර්ගවල අතහැර දමා ගිය වාහන ද ගින්නට හසුවීමෙන් විනාශ වී ඇති බව ද පැවැසෙයි.
ගිනි භටයන්ගේ සහායට හමුදා සොල්දාදුවන් 16,500 ක්, හමුදා හෙලිකොප්ටර් 32 ක් සහ ගිනි නිවන ට්රක් රථ 26 ක් යොදවා ඇති බව විදෙස් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර ඇත.
සෝල්හිදීය (රොයිටර්ස්)

