දකුණු කොරියාවේ ශෝක කාලයක්
දකුණු කොරියා ගුවන් අනතුරින් 179 දෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට එරට වැඩ බලන ජනාධිපති චෝයි සංග් මොක් තීරණය කළේය.
ගුවන් යානා අනතුර සිදුවූයේ දකුණු කොරියාව, දේශපාලනික වශයෙන් අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවකය. වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරන චෝයි සංග් මොක් ද ගුවන් යානය අනතුරට ලක්වුණු මුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ අනතුර සිදුවුණු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලුවේය.
යානය අනතුරට පත් වෙද්දී එහි 181 දෙනෙක් සිටියහ. බරපතල තුවාල ලබා දිවි බේරා ගත්තේ ගුවන් සේවිකාවන් දෙදෙනකු බව පැවැසෙයි. දකුණු කොරියාවේ සිදුවුණු දරුණුතම ගුවන් යානා අනතුර මෙය ලෙස සැලකෙයි.
අනතුරට පත් වුණු ‘ජේජු’ ගුවන් සේවයට අයත් යානය තායිලන්තයේ බැංකොක් අගනුවර සිට පුද්ගලයන් 181 දෙනකු සමඟ දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේ පෙරේදා (29) උදෑසනය.
මගී යානයේ සියලු දෙනා දකුණු කොරියානුවන් වූ අතර, තායිලන්ත ජාතිකයෝ දෙදෙනක් ද යානයේ සිටියහ. ගුවන් යානා අනතුර සම්බන්ධයෙන්, තායිලන්ත අගමැතිනී පේටොන්ග්‍රන් ෂිනවාත්‍රා සොව පළ කර ඇත.
මගී යානය ගුවන්තොටුපොළට ගොඩ බෑමට උත්සහ ගනිද්දී, එහි ඇන්ජිමක කුරුල්ලකු ගැටුණු බවත්, එය ගුවන් තොටුපොළ ගුවන් පථයට ගොඩබෑමට ගත් පළමු උත්සාහය අසාර්ථක වූ බවත් පැවැසෙයි. අනතුරට පත් වූයේ ගුවන් යානය බෝයිං 737-800 වර්ගයේ යානයකි. එය වසර 15 ක් පැරැණි ගුවන් යානයකි.
ගුවන් තොටුපොළ බලධාරීන්ට දන්වා, යානය දෙවැනි වර ගුවන් පථයට පහත් කරද්දී, එහි රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවිණි. යානය ගුවන් පථයේ ලිස්සා ගොස් එහි කෙළවර ක්‍රොන්ක්‍රීට් තට්ටුවක හැපී පුපුරා ගිනිගෙන විනාශ වන අයුරු දැක්වන වීඩියෝ දසුන් පවා මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
කෙසේ නමුත් යානය අනතුරට පත්වූයේ කෙසේදැයි තහවුරු කර ගැනීමට හැකිවනු ඇත්තේ, යානයේ පියසැරි දත්ත සහිත කළු පෙට්ටිය සොයා ගැනීමෙන් පසුව යැයි දකුණු කොරියානු ගුවන් ගමන් පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.