දකුණු කොරියාවේ රෝහලක ගින්නක්



දකුණු කොරියාවේ රෝහලක උදෑසන හටගත් ගින්නකින් 36 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

පිළිස්සුම් තුවාල ලැබූ ගණන 76 කි. ඔවුන්ගෙන් 19 දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.

ගින්න හටගෙන ඇත්තේ මිර්යාංග් නමැති නගරයේ ‘සෙජොංග්’ නමැති රෝහලකය. එහ මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලකි. රෝහලේ ඉහළ මහලේ ඇත්තේ හෙද නිවසකි.

මරණයට පත්වුණු සහ තුවාල ලැබූ වැඩි දෙනා මෙම හෙද නිවසේ ප්‍රතිකාර ලැබූවන් බව වාර්තා වේ. ගින්න පැතිර යද්දී රෝහලේ 200 කට වැඩි පිරිසක් සිටි බව ද පැවැසෙයි.

ගින්න හටගෙන ඇතැයි පැවැසෙන්නේ හදිසි ප්‍රතිකාර අංශයේය. එය විදුලි කාන්දුවක් නිසා හටගන්නට ඇතැයි අනුමාන කෙරේ. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් 30 දෙනකු පමණ පැමිණි බව වාර්තා වේ. පැමිණි ගිනි නිවන ට්‍රක් රථ ප්‍රමාණය පහකි.
ගින්න නිවා දැමීමටත්, ගින්නට කොටුවූ රෝගීන් වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් බේරා ගැනීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට පැය 8 ක් පමණ ගතවුණැයි ද පැවැසෙයි.

තුවාල ලැබූවන් කඩිනමින් වෙනත් රෝහල් වෙත මාරු කරන ලදී. තුවාල ලැබූවන් අතර රෝගීන් පමණක් නොව, වෛද්‍යවරුන් කිහිප දෙනකු සහ හෙදියන් ද සිටින බව පැවැසෙයි.

මීට මාසයකට පෙර ද දකුණු කොරියාවේ ගිනි අනතුරක් වාර්තා විය. එම ගිනි අනතුරින් මියගිය ගණන 29 කි. 50 කට ආසන්න පිළිසක් තුවාල ලැබූහ. එම ගිනි අනතුර ජෙචියොන් නුවරින් වාර්තා විය. ගින්න හටගත්තේ රාත්‍රී සමාජ ශාලාවකය.

(රොයිටර්)


RECOMMEND POSTS