දකුණු කොරියාවේ ශෝක කාලයක්



සෝල් නුවර පැවැති හැලෝවීන් සාදයකදී පුද්ගලයන් 151 දෙනකු මිය යෑමේ සිදුවීමත් සමඟ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම අනතුරෙන් මියගිය සියලු දෙනාට සිය ශෝකය ප්‍රකාශ කරන බවත් තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන බවත් ජාතික ශෝක කාලය ප්‍රකාශයට පත් කරමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා කීය.

මෙම සිදුවීමෙන් මියගිය බොහෝ දෙනා අවුරුදු 20 වයසේ හෝ ඒ ආසන්න වයස්වල පසුවන අය බව ද ජනාධිපතිවරයා කීවේ ය.

“මේක ඇත්තටම ඛේදවාචකයක්. සෝල් නුවර හදවතේ මෙය සිදු වෙන්න තිබුණු දෙයක් නෙමෙයි. මේක ඊයේ නොවෙන්න තිබුණු දෙයක්” මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවැසීය.

සෝල් නුවර සුප්‍රකට ඊටායිවාන් දිස්ත්‍රික්කයේ දී සෙනසුරාදා රාත්‍රීයේ දී මෙම හැලෝවීන් සාදය පවත්වා ඇත.

මෙම දිස්ත්‍රික්කය අවන්හල්, රාත්‍රී සමාජ ශාලා, බීමහල් යනාදියෙන් සමන්විත අතර දකුණු කොරියානු ජනයා මෙන්ම විදේශිකයන් අතර ද ප්‍රසිද්ධ ය.

විශාල පිරිසක් හැලෝවීන් සාදවලට එක්වෙමින් මෙම දිස්ත්‍රික්කයට පැමිණ තිබෙන අතර එක්වරම විශාල පිරිසක් පටු වීදියකට එක් රැස් වී තිබේ.

මෙම ඛේදවාචකය හේතුවෙන් ඉරිදා උදෑසන වනවිට 151 දෙනකු මරණයට පත්ව ඇති අතර ඔවුන්ගෙන් 19 දෙනකු විදේශිකයන් බව යොන්ග්සැන් ගිනි නිවන ඒකකයේ ප්‍රධානී චෝයි සන් බියෝම් පැවැසීය.

මරණවලට හේතුව විශාල පිරිසක් එකවර තෙරපීම යැයි වාර්තා වන නමුත් මෙතෙක් මේ සම්බන්ධයෙන් නිල වාර්තා කිසිවක් ප්‍රකාශයට පත් කර නොමැත.

මෙම තෙරපීම්වලින් 82 කු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 19 දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද චෝයි සන් පැවැසීය.

එසේ වුවත් මරණ ගණන තවදුරටත් ඉහළ යා හැකි යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආපදා නිලධාරීහු ප්‍රකාශ කළහ.

වසර තුනකට පසු සෝල් නුවර පැවැති පළමු හැලෝවීන් සාදය මෙය වේ. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සමාජ දුරස්ථභාවය ඇතුළු සීමා පනවා තිබූ දකුණු කොරියානු බලධාරීහු ඉකුත් අප්‍රේල් මාසයේ දී එම සීමා ලිහිල් කළහ.

මෙම සාදයට සහභාගී වූ බොහෝදෙනා හැලෝවීන් ඇඳුම් ආයිත්තම්වලින් සැරැසී සිට ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනා මුඛ ආවරණ පැලඳ සිට ඇත.

ඉරිදා උදෑසන වනවිට මෙම පටු වීදියේ සාදයට පැමිණි පුද්ගලයන්ට අයත් දෑ, ඇඳුම් ආයිත්තම් ආදිය රුධිරය ද සමඟ දැකගන්නට තිබුණේ යැයි ද මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම ඛේදවාචකය සිදු වූ අවස්ථාවේදී ආපදා සේවකයන්, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සහ මාධ්‍යවේදීන් මෙම ස්ථානයට පැමිණි අතර මේ වනවිටත් ආපදා සේවකයන්, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සහ දෙස් විදෙස් මාධ්‍යවේදීන් එහි සිටින බව වාර්තා වේ.

මිය ගිය බොහෝදෙනා සිට ඇත්තේ රාත්‍රී සමාජ ශාලාවක් ආසන්නයේ යැයි මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ චෝයි පැවැසීය. මියගිය අයගෙන් බොහෝ දෙනා අවුරුද්දේ 20 පසුවන කාන්තාවන් බව වාර්තා විය.

මියගිය විදේශිකයන් අතර චීන, ඉරාන, උස්බෙකිස්තාන සහ නෝර්වේ ජාතිකයන් සිටින බව දකුණු කොරියානු බලධාරීහු කීහ.

අති විශාල පිරිසක් මෙම සාදයට පැමිණ තිබෙන අතර කලබල ඇති වන්නට පටන් ගෙන ඇත්තේ දකුණු කොරියානු වේලාවෙන් රාත්‍රී 10.20ට පමණ ය.

දිගින් දිගටම සාදය සඳහා පිරිස් පැමිණීම නිසා එහි සිටි පොලිස් නිලධාරීන්ට පිරිස පාලනය කරගත නොහැකි වී ඇත.

මෙම ඛේදවාචකය සිදුවීමටත් පෙර ම එවැන්නක් සිදුවීමේ ලක්ෂණ දක්නට තිබූ බව මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ 21 හැවිරිදි තරුණයකු වන මූන් ජූ යන්ග් පැවැසීය.

සාමාන්‍යයෙන් පැමිණෙනවාට වඩා 10 ගුණයක පිරිසක් එහි වූයේ යැයි ඔහු රොයිටර්ස් පුවත් සේවයට පැවැසීය.

මෙම සාදයේ විඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එක් පටු වීදියක සාදයට පැමිණි පිරිස් තෙරපන ආකාරයත් ඔවුන්ට කිසිසේත් ගමන් කළ නොහැකි ආකාරයත් දක්නට ලැබුණු අතර ආපදා නිලධාරීන් සහ පොලිසිය පිරිස් එම වීදියෙන් ඉවත් කරගැනීමට උත්සාහ කරන ආකාරයත් දක්නට ලැබිණි. 

(රොයිටර්)


RECOMMEND POSTS