දකුණු කොරියාවෙන් යුක්රේනයට මුදල් ආධාර



රුසියන් යුක්රේන අර්බුදයේ දී යුක්රේනයට සහාය පළ කරන බව තහවුරු කරමින්, දකුණු කොරියානු ජනාධිපති යූන් සූක් යෝල් යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.

සාකච්ඡා කිරීමෙන් පසු යුක්රේන රජයට ඇමෙරිකන් ඩොලර් මිලියන 150 ක මුදලක් පරිත්‍යාග කිරීමට දකුණු කොරියානු ජනාධිපති යූන් පොරොන්දුවක් දුන්නේය. ඊට අමතරව, යුද ආධාර ද යුක්රේන හමුදාවට ලබා දෙන බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවැසීය.

දකුණු කොරියානු ජනාධිපතිවරයා යුක්රේනයට ගියේ බිරිඳ කිම් කියොන් හෛයි ද සමඟය. යුක්රේනයට පැමිණීමට පෙර දකුණු කොරියානු ජනාධිපතිවරයා ලිගුවේනියාවටත් පෝලන්තයටත් ගියේය. පසුගිය දා ‘නේටෝ’ මහ සමුළුව පැවැත්වූයේ ලිතුවේනියාවේය.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ මීට මාස 17 කට පෙරය. ඒ, යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. ‘නේටෝ’ යනු රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට යුරෝපා රටවල් එක් වී පිහිටුවාගත් යුද සන්ධානයයි.


RECOMMEND POSTS